
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ දරුණු රථවාහන අනතුරු මාලාවකින් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත්දෙනෙකු (07) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (25) දිනය තුළ සිදු වූ මෙම අනතුරුවලින් තවත් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
තලංගම පොලිස් වසමේ අල් කටාස් පරිශ්‍රයේ පිටවීමේ දොරටුව අසලදී කියැංහෑම් මංසන්ධිය දෙස සිට ජයන්තිපුර හන්දිය දෙසට ධාවනය වූ කාර් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇත.
අනතුරුව එම යතුරුපැදිය ඊට පිටුපසින් ධාවනය වූ තවත් කාර් රථයක ද ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පසුපැදිකාරිය තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.
තුවාල ලැබූ යතුරුපැදිකාරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර, කුලියාපිටිය - නාරම්මල මාර්ගයේ පූගල්ල හන්දිය අසලදී කුලියාපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක්, ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී ඉදිරියට ඇදීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ පසුපස ගමන් කළ වැවගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
අනතුරින් යතුරුපැදිකාරිය, කුඩා පිරිමි දරුවෙකු, ත්‍රීරෝද රථයේ රියැදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ මත්තමගොඩ ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොටියාකුඹුර දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ 47 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකාරිය කරවනැල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
එලෙසම කුරුඳුවත්ත පොලිස් වසමේ තර්ස්ටන් මාවත දෙස සිට ග්ලාස්හවුස් හන්දිය දෙසට ධාවනය වූ බස් රථයක්, ජේ.ඕ.සී. හන්දිය අසල පිහිටි පදික මාරුව මතින් ගමන් කළ පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී ඇත.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ ගල්උඩුපිටිය හන්දිය අසලදී මීගමුව දෙසට ධාවනය වූ ප්‍රයිමුවර් රථයක් වමට හැරවීමට යාමේදී එම දෙසටම ගමන් කළ පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ රාගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පාපැදිකාරිය රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මහව පොලිස් වසමේ නිකවැරටිය - සියඹලන්ගමුව මාර්ගයේ ඉපලෝගම ප්‍රදේශයේදී නිකවැරටිය දෙස සිට සියඹලන්ගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක්, මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් මීරිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති අතර, තුවාල ලැබූ පසුපැදිකාරිය නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
ග්‍රෑන්ඩ්පාස්, ආතර් ද සිල්වා මාවත මැද පාර ඔස්සේ බ්ලූමැන්ඩල් දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ කැලණිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මෙම සියලු අනතුරුවලට සම්බන්ධ රථවාහනවල රියදුරන් අදාළ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.










































