
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සහ මාලදිවයින අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍ය හසන් රෂීඩ් අතර මෙම හමුව පවත්වා ඇත.
දෙරට අතර ආරක්ෂක සහ සුරක්ෂිතතා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය මෙම හමුවේදී යළිත් තහවුරුවී ඇති අතර, අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාවන් පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇත.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම දක්වන කැපවීම මාලදිවයින් ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශය ද 'X' පණිවුඩයක් මගින් අවධාරණය කර තිබේ.
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන 8 වැනි කොළඹ ආරක්ෂක සමුළුවේ ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ කවුන්සිල රැස්වීම නොවැම්බර් 24 වැනිදා සිට 26 වැනිදා දක්වා මාලදිවයිනේදී පැවැත්වෙයි.










































