
පවතින වර්ෂාවත් සමග දැදුරු ඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ(25) රාත්රී වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි දෙක බැගින් විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමගින් තත්ත්පරයට ඝන අඩි 11,200ක ජල ප්රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කෙරෙමින් පවතින බව සඳහන් වෙයි.
මේ හේතුවෙන් ජලාශයෙන් පහළ දැදුරුඔය ආශ්රිත පදිංචි ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි.
මේ අතර වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම අඟල් හය බැගින් ඊයේ (25) රාත්රියේ හදිසියේ විවෘතව තත්පරයට ඝණ මීටර් 560ක් බැගින් රන්දෙණිගල ජලාශයට මුදාහරිමින් පවතින බව වික්ටෝරියා ජලාශයේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා පැවසීය.
මේ වසර තුළ වික්ටෝරියා ජලාශය 9 වතාවක් වාන් දමා ඇති අතර, දොරටු සියල්ල විවෘත වූ තෙවැනි අවස්ථාව මෙය වේ.
එලෙසම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් ද ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 2ක් ද විවෘත කර ඇති බව සඳහන් වෙයි.
අත්නගලුඔයේ ජල මට්ටම ද දූනමලේ ප්රදේශයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වෙයි.










































