
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය නතර කිරීම සඳහා හුදෙක් නීත්‍යානුකූල අයිතිවාසිකම් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා සමාජ ආකල්ප වෙනස් කර නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සහ ඊට සමගාමීව ක්‍රියාත්මක වන දින 16ක ක්‍රියාකාරී වැඩසටහන ආරම්භ වූ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව ලොව පුරා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු (මිලියන 840ක් පමණ) සිය ජීවිත කාලය තුළ කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් ඇය සඳහන් කළේ, මෙරට කාන්තාවන්ගෙන් 20.4%ක් (පස් දෙනෙකුගෙන් එක් අයෙකු) සමීප සහකරුවෙකුගෙන් හිංසනයට ලක්ව ඇති බවයි. විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන් අතර එම ප්‍රතිශතය 25.5%ක් තරම් ඉහළ අගයක් ගන්නා බවද ඇය අනාවරණය කළාය.
මාර්ගයේදී, රැකියා ස්ථානවලදී මෙන්ම වර්තමානයේ සයිබර් අවකාශය ඔස්සේ සිදුවන තර්ජන, බ්ලැක්මේල් කිරීම් සහ අවසරයකින් තොරව පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ බෙදා හැරීම භෞතික ප්‍රචණ්ඩත්වයේම දිගුවක් බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඒ සඳහා ඩිජිටල් වේදිකා පවත්වාගෙන යන ආයතන ද සෘජුවම වගකීම භාර ගත යුතු බව ඇය අවධාරණය කළාය.
ප්රචණ්ඩත්වය නතර කිරීමේ වගකීම වින්දිතයන් මත නොපටවා හිංසනය සිදු කරන්නන් සහ ඊට අනුබල දෙන්නන් එහි වගකීම දැරිය යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, පුරුෂ මූලික ආකල්ප වෙනස් කිරීම සඳහා පිරිමින් සහ පිරිමි දරුවන් සමඟ ද සංවාද ගොඩනැගිය යුතු බව සඳහන් කළාය.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය රටේ ප්රජාතන්ත්රවාදයට සහ ආර්ථිකයට සෘජුවම බලපාන බැවින්, නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත්, දින 16ක වැඩසටහනකට පමණක් සීමා නොවී දෛනික කැපවීමකින් කටයුතු කිරීමටත් රජය බැඳී සිටින බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.










































