
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනා ලබන දෙසැම්බර් 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම නඩුව අද (25) මහව මහෙස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනවිරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.
පෙර නඩු වාරයේදී මහෙස්ත්‍රාත්වරිය විසින් නඩුවට අදාළ තක්සේරු වාර්තාවක්, රස පරීක්ෂක වාර්තාවක්, මරණ පරීක්ෂණ සහ වෛද්‍ය වාර්තා කැඳවා තිබූ අතර, නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පැමිණිලි පාර්ශ්වය ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසද නියෝග කර තිබුණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී කාවන්තිස්ස ඇතාගේ මරණය වෙනුවෙන් පැමිණිලි පාර්ශ්වය ලෙස වනජීවී දෙපාර්තමේන්තුව පෙනී සිටියේය.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පෙර නියම කළ වාර්තාවල ඇතැම් කොටස් ඉදිරිපත් කර තිබුණද අංග සම්පූර්ණ වාර්තා ලබාදීමට තවදුරටත් විමර්ශන සිදුවන බැවින් එම කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරුවන්ට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව දින 37ක් රඳවා තැබීම අසාධාරණ බවත්, ඇතාට වෙඩි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති බවත් නීතිඥවරයා පැවසීය.
තවද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙය වෙඩිතැබීමකින් සිදුවූ මරණයක් බවට ලිඛිත වාර්තා නොමැති බවත්, ඉදිරි පාදයේ තුවාල තිබූ ස්ථානයේ ඊයම් මූනිස්සම් නොතිබී ඇතාගේ උදර කොටසින් මූනිස්සම් හමුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම මූනිස්සම් මරණයට හේතු වී නොමැති බවත්, ඉදිරි පාදයේ තුවාලයට ප්‍රතිකාර කිරීමේදී ලබා දුන් ඖෂධ මාත්‍රාවල ගැටලුවක් හේතුවෙන් ඇතා මිය යන්නට ඇතැයි සැක මතුවන බවද සැකකරුගේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, මීළඟ නඩු වාරයේදී අවසන් තක්සේරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
ඒ අනුව ජෛව විද්‍යාත්මක තක්සේරු වාර්තාවක් සහ වාණිජ වටිනාකම පිළිබඳ තක්සේරුවකින් සමන්විතව තක්සේරු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් විශේෂඥ වාර්තාවක් ගොනු කරන ලෙසද නියම කෙරිණි.
මීට අමතරව පොදුදේපළ පනත යටතේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න සඳහන් කරන ලෙසත්, නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ බව තහවුරු කරන ලේඛන ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මීළඟ දිනයේ ඉදිරිපත් කරමින් විමර්ශන කඩිනම් කිරීමට මෙන්ම, අධිකරණයට ඉදිරිපත් කළ මූනිස්සම් අදාළ ගිනිඅවියෙන් නිකුත් වූ ඒවාද යන්න පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් කැඳවා මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසද නියෝග කරන ලදී.
කාවන්තිස්ස ඇතා සම්බන්ධ නඩුව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ සහ මහව මහෙස්ත්‍රාත් අධිකරණයේ යන අධිකරණ දෙකේම කාරණා දෙකක් යටතේ කැඳවෙන බැවින් ඒ හේතුවෙන් නෛතික ගැටීමක් ඇති විය හැකි බව අධිකරණය පෙන්වා දුන්නේය.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත්, නඩු කටයුතු අධිකරණ දෙකේම පවත්වාගෙන යන්නේද නැතහොත් එක් අධිකරණයක පමණක් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව කරුණු වාර්තා කරන ලෙසත් මහව මහෙස්ත්‍රාත්වරිය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.










































