
සීමිත භාෂා කිහිපයකට පමණක් සීමා වී ඇති ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝජනා කර තිබේ.
දැනට කෞතුකාගාර, පුස්තකාල සහ ලේඛනාගාර තුළ සංරක්ෂණය කර ඇති වසර දහස් ගණනක් පැරණි මිල කළ නොහැකි උරුමයන් ඊළඟ පරම්පරාව වෙත ගෙන යාමට තාක්ෂණය උපකාරී වනු ඇති බව ඔහු එහිදී තවදුරටත් පවසා ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව පවසා ඇත්තේ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල් අතර වඩාත් පුළුල් සංස්කෘතික හා ශිෂ්ටාචාරමය සහයෝගිතාවක් ඇති කර ගැනීමමේ අරමුණින්ය.
නවදිල්ලි නුවර පැවති පළමු ෂැංහයි සහයෝගිතා සංවිධාන ශිෂ්ටාචාර සංවාද සංසදය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
පොදු ඉතිහාසයේ නව පැතිකඩයන් අනාවරණය කර ගැනීම සඳහා ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති ආරම්භ කළ යුතු බවත් මෝදි යෝජනා කර ඇත.
එවැනි ප්රයත්නයන් තුළින් ලොව පුරා සිටින තරුණ පරපුරට වෙනත් ජාතීන්ගේ සංස්කෘතික උරුමයන් පිළිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදියේ විශ්වාසයයි.
ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සංසදයට පාකිස්තාන අමාත්‍ය මුසාදික් මලික් ඇතුළු ෂැංහයි සාමාජික රටවල නියෝජිතයෝ රැසක් එක්වී තිබේ.









































