
දිනෙන් දින වාර්තා අලුත් කරමින් ක්‍රිකට් පිටියේ අවධානය දිනාගත් ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි, තවත් සුවිශේෂී දස්කමක් දැක්වීමට සමත්ව තිබේ.
ඒ, List A එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමිනි.
දෝහාහිදී පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන ක්‍රීඩකයින්ගේ තරගාවලියේ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගයේදී 15 හැවිරිදි සූර්යවංශි මෙම වාර්තාගත ශතකය රැස් කළේ පන්දු 28කිනි.
ඒ අනුව, මීට පෙර පන්දු 29කින් ශතකයක් රැස්කරමින් ජේක් ෆ්රේසර්-මැක්ගර්ක් පිහිටුවා තිබූ වාර්තාව බිඳ වැටුණි.
ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි සූර්යවංශි, සිය ශතකය සඳහා හයේ පහර 14ක් සහ හතරේ පහර 4ක් එල්ල කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ලකුණු 250ක ඉලක්කය හඹායමින් සිටියදී ඔහු මෙම දස්කම දැක්වූයේ පන්දුවට පහරදීමේ වේගය 375ක් ලෙස රඳවා ගනිමිනි.
එමෙන්ම, මෙම තරගයේදී පන්දු 40කින් ලකුණු 150 සීමාව පසුකරමින් වේගවත්ම List A ලකුණු 150 වාර්තාව ද අලුත් කිරීමට සූර්යවංශි සමත්විය.
මීට පෙර එම වාර්තාව ද ඔහු සතු වූ අතර, පසුගිය වසරේ බිහාර් කණ්ඩායම වෙනුවෙන් අරුණාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව පන්දු 59කින් ලකුණු 150ක් රැස්කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණි.
මීට අමතරව, මේ වසරේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පන්දු 11කින් අර්ධ ශතකයක් රැස්කරමින් වේගවත්ම List A අර්ධ ශතකයේ වාර්තාව ද ඔහු පිහිටුවා තිබේ.
ඒ අනුව, List A එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය, ශතකය සහ ලකුණු 150 වාර්තා තුනම තමන් සතු කරගැනීමට මෙම 15 හැවිරිදි ක්‍රීඩකයා සමත්ව ඇත.










































