
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි කුලන්දෙයි ජේසු ෂෙරන් නැමැති තරුණයා ඝාතනය කර සිරුර පුළුස්සා, අස්ථි කොටස් කැලණි ගඟට දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (02) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
පොලීසිය සඳහන් කළේ, 2025 ඔක්තෝබර් 14 වැනිදා තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මූලික විමර්ශන ආරම්භ කළ බවය. පසුව වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකර තිබේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, 2025 ඔක්තෝබර් 11 වැනිදා සවස 6.23ට තරුණයා සිය නිවසින් පිටත්ව සේදවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මිතුරෙකු වන ප්‍රියන්ත නමැති ව්‍යාපාරිකයාට අයත් වාහන අලුත්වැඩියා ස්ථානයකට ගොස් ඇති බවයි.
එහිදී මත්පැන් පානය කරමින් සිටියදී පිරිසක් එම ස්ථානයේ ගේට්ටුවට ගල් ගැසීම හේතුවෙන් ශාන්ත සහ ජේසු ෂෙරන් අතර බහින්බස්වීමක් ඇතිවී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇත. පසුව ජේසු ෂෙරන් තමන් ඝාතනය කිරීමට සූදානම් වන බවට ශාන්තට ආරංචියක් ලැබීමෙන් අනතුරුව ඔහු පූර්ව සැලසුමක් සකස් කර ඇති බවටද පොලීසිය සැක පළ කරයි.
එදින රාත්‍රී 12ට පමණ ජේසු ෂෙරන් සිය අක්කාට දුරකථන ඇමතුමක් ලබාදී “මම උදේට එන්නම්” යනුවෙන් පවසා ඇති බව සඳහන්ය. කෙසේ වෙතත්, මධ්‍යම රාත්‍රියෙන් පසු ඔහුගේ දුරකථනය විසන්ධි වී ඇති අතර, ඉන් අනතුරුව ඔහු අතුරුදන්ව තිබේ.
ඔක්තෝබර් 11 වැනිදා ඇති වූ සිද්ධියකින් පසු තරුණයා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන අතර, පසුව සිරුර කිරිඳිවැල, පැපිලියවල ප්‍රදේශයේදී පුළුස්සා ඇති බවට පොලීසිය අනාවරණ කරගෙන තිබේ. අස්ථි සහ අනෙකුත් අවශේෂ කොස්ගම රංවල පාලම අසලින් කැලණි ගඟට දැමූ බවටද විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇත.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැපිලියවල ප්‍රදේශයේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකදී අස්ථි කොටස් ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ. රංවල පාලම අසල ගඟේද නාවික හමුදා කිමිදුම් නිලධාරීන්ගේ සහාය ඇතිව පරීක්ෂණ සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 32, 37 සහ 46 වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අගලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































