
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දමා, අස්ථි කොටස් කැලණි ගඟට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 ඔක්තෝබර් 14 වැනිදා මෙම තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබූ අතර, වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබීය.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අතුරුදන් වූ තරුණයා 2025 ඔක්තෝබර් 11 වැනිදා ග්‍රෑන්ඩ්පාස්, කම්බි කොටුවවත්ත ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කර ඇති බවය.
ඔහු අතුරුදන් වීමෙන් පසු එම පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද අනාවරණ වී තිබේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 30 වැනිදා මාබෝල කළු පාලම අසලදී සහ මහර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනෙකු උස්වැටකෙයියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අතුරුදන් වූ තරුණයා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී ඝාතනය කර ඇති බවයි.
පසුව සිරුර කිරිඳිවැල පොලිස් වසමේ පැපිලියවල ප්‍රදේශයේදී පුළුස්සා දමා, එහි අස්ථි සහ අනෙකුත් අවශේෂ කොස්ගම පොලිස් වසමේ රංවල පාලම අසලින් කැලණි ගඟට දමා ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබේ.
2026 නොවැම්බර් 01 වැනිදා පුගොඩ මහේස්ත්‍රාත්වරයා, වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පැපිලියවල ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇත.
එහිදී යතුරුපැදි ස්විච් යතුරක්, සුරයක්, අස්ථි කොටස් කිහිපයක් සහ පිළිස්සුණු ටෙන්ට් රෙද්දක කොටසක් සොයාගෙන නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබේ.
එදිනම රංවල පාලම අසල කැලණි ගඟේද ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා කිමිදුම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 32, 37 සහ 46 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අගලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026 නොවැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































