
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය 'මුරසු' ලෙස නම්කර ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහුදින ධීවර යාත්රා සඳහා සහ මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු මුහුදු ප්රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම පද්ධතිය අද(01) පෙරවරු 11.30 වන විට උතුරු අක්ෂාංශ 12.1° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ කේන්ද්රගතව පැවතුණි.
මුරසු සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්,හෙට(02) උදෑසන වන විට ගිනිකොණ දිග සහ යාබද බස්නාහිර - මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැක.
එය වයඹ දෙසට ගමන් කරමින් හෙට මධ්යම රාත්රිය සහ අනිද්දා (03) අළුයම් කාලය පමණ වන විට ආන්ද්රා ප්රදේශ් වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිතියමේ 'Warning' කාණ්ඩයට අයත් මුහුදු ප්රදේශ වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70-80ත් දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම සහිත තද වැසි ඇති විය හැකි බැවින් මෙම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකිය.
එම නිසා උතුරු අක්ෂාංශ 10ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්රදේශවලත් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
ඉදිරි පැය 24 දක්වා වලංගුවන පරිදි අද (01) පස්වරු 3ට මෙම නිවේදනය නිකුත් කර තිබේ.

















































