
අතීතයේ පැවති පරිදි නීතිය හමුවේ ප්‍රබලයින් බේරී සාමාන්‍ය ජනයා පමණක් අසුවන තත්ත්වය අද වන විට අවසන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
නිකවැරටියේ අද (11) පැවති ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නීතිය හමුවට පැමිණවිය නොහැකි කිසිදු පුද්ගලයෙකු හෝ ස්ථානයක් වර්තමානයේ නොමැති බව තහවුරු කර ඇති බවය.
"කියමනක් තිබුණා 'නීතිය වනාහි මකුළු දැලක් වගේ' කියලා. සමහර අය හිතන් හිටියා නීතිය ඒ අය ගාවට කිට්ටු වෙන්නේ නෑ කියලා.
පොඩි පොඩි කෘමීන් අහුවෙනවා. ලොකු අය මකුළු දැල කඩාගෙන යනවා. මේ රටේ මතයක් තිබුණා සමහර අය ගාවට නීතිය ළඟාවෙන්න බෑ කියලා.
නීතිය ඒ අය ළඟට එනකොට නීතිය පිළිස්සෙනවා. ලංකාවේ අද ඒ තත්ත්වය අවසන්. නීතිය කවුරු හරි ගාවට ළගාවෙන්නේ නෑ කියලා හිතුවා නම්, අද අපි ඔප්පු කරමින් තියෙනවා නීතිය ළඟාවෙන්න බැරි තැනකුත් නෑ නීතිය ළගාවෙන්න බැරි පුද්ගලයෙකුත් නෑ කියලා" යැයි පැවසීය.
වර්තමානයේ ක්‍රියාත්මක වන නීතිමය පියවරයන් හේතුවෙන් බන්ධනාගාර සම්බන්ධයෙන් වෙනම ප්‍රවෘත්ති වාර්තා කිරීමට තරම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී සඳහන් කළේය.
“මේ දවස්වල බන්ධනාගාර ප්‍රවෘත්ති කියලා වෙනම හදන්න ඕන. එක පාරක් නිව්ස් ඇලට් එකක් එනවා, ඒක ඇවිත් විනාඩි දහයෙන් තව එකක් එනවා. අපිත් බලනවා කවුද ඒ පාර වේ කියලා”.
එමෙන්ම මැදපෙරදිග තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, අමෙරිකාවෙන් යුධ ගුවන් යානා ගොඩබස්වීමට කළ ඉල්ලීම මෙන්ම ඉරානයෙන් යුධ නැව් පැමිණීමට කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරමින් කිසිවෙකුට යටත් නොවූ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය සමත් වූ බවයි.
විශේෂයෙන්ම ඉරාන නැව් පිළිබඳ ගැටලුවේදී ශ්‍රී ලංකාව ගත් තීන්දු තීරණ ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වූ බවද පෙන්වා දුන්නේය.





















































