
ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපතේ වනාන්තරවල පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් වාසස්ථාන අහිමි වූ වඳවීමේ දැඩි තර්ජනයට ලක්ව සිටින ඔරංඔටන් වඳුරන් අටදෙනෙකු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට බලධාරීන් සහ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සමත්ව තිබේ.
ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කළේ, මෙම සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන ලැව්ගිනි හේතුවෙන් විනාශ වීමෙන් පසු ඔවුන් බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට මාරු කළ බවයි.
අග්නිදිග ආසියානු කලාපයේ පිහිටි ඉන්දුනීසියාව, පසුගිය වසර 11 තුළ වාර්තා වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වයකට මේ වනවිට මුහුණ දෙමින් සිටියි.
එම ලැව්ගිනි ප්‍රධාන වශයෙන් සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්වල පැතිර යන අතර, එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ගිනි පැතිරීම තීව්‍ර වී තිබේ.
මෙම ලැව්ගිනි තත්ත්වය නොවැම්බර් මාසය දක්වා පැවතිය හැකි බවට ඉන්දුනීසියානු රජය අනතුරු අඟවා ඇත.
ලෝක වනජීවී අරමුදලට (WWF) අනුව, ඔරංඔටන් වඳුරන් ස්වාභාවිකව ජීවත් වන්නේ අග්නිදිග ආසියාවේ බෝර්නියෝ සහ සුමාත්‍රා දූපත්වල පමණි. ඔවුන්ගේ ගහනය අඩුවීමට වන විනාශය, ලැව්ගිනි සහ නීතිවිරෝධී දඩයම් කිරීම ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මේ අතර, මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ඉන්දුනීසියාවේ හෙක්ටයාර 202,000ක පමණ භූමි ප්‍රමාණයක් ලැව්ගිනිවලින් විනාශ වී තිබේ. ඉන් අනතුරුව සිදුවූ ගිනි ගැනීම් පිළිබඳ නිල දත්ත මෙතෙක් නිකුත් කර නොමැති නමුත්, රාජ්‍ය නොවන සංවිධාන ඇස්තමේන්තු කර ඇත්තේ තවත් හෙක්ටයාර 600,000කට වැඩි භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි.
ලැව්ගිනි හේතුවෙන් පැතිර ගිය දුමාරය නිසා ඉන්දුනීසියාවේ ශ්වසන රෝගී තත්ත්වයන් 175,000ක් පමණ වාර්තා වී තිබේ. එම දුමාරය අසල්වැසි සිංගප්පූරුවට සහ මැලේසියාවට ද බලපා ඇති අතර, වායු ගුණාත්මකභාවය පහත වැටීම හේතුවෙන් සිකුරාදා දිනයේදී මැලේසියාවේ පාසල් රැසක් වසා දැමීමට ද පියවර ගෙන තිබේ.





















































