
මඩකලපුව, ආරියම්පති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ආපනශාලා සහ වෙළෙඳසැල් ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය නිලධාරීන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ.
ආරියම්පති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. සිවලක්සන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
ඊයේ (10) රාත්‍රී 7.00 ට පමණ ආරම්භ වූ මෙම මෙහෙයුමේදී ප්‍රදේශයේ ආපනශාලා 9ක් දැඩි සෝදිසියට ලක් කෙරිණි.
එහිදී, මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දමින් ආහාර පිළියෙළ කර අලෙවි කිරීම,වෙළෙඳසැල් සේවකයින් සතුව නිසි වෛද්‍ය සහතික නොමැති වීම,සෞඛ්‍යයට හානිකර ලෙස ආහාර වසා නොතැබීම, වර්ණවත් කඩදාසිවලින් ආහාර එතීම සහ වසා තැබීම යන කරුණු මත මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අදාළ වැරදි සම්බන්ධයෙන් වෙළෙඳුන් 8 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර, නරක් වූ සහ කල් ඉකුත් වූ විශාල ආහාර ද්‍රව්‍ය තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට මහජනතාවගෙන් අඛණ්ඩව ලැබුණු පැමිණිලි මත මෙම කඩිනම් පියවර ගෙන තිබේ.
තවද, මෙවැනි සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර අලෙවි කරන්නන් පිළිබඳව වහාම තොරතුරු ලබා දීම සඳහා දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ දුරකථන අංකය ඇතුළත් දැනුවත්කිරීමේ ස්ටිකර් ද වෙළෙඳසැල්වල අලවා ඇත.
මේ අතර, අදාළ අංකය ඔස්සේ එවැනි ක්‍රියාවන් පිළිබඳව පැමිණිලි කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.





















































