
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 3,684ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශය විසින් ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා වූ කාලය සඳහා නිකුත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් වී ඇති අතර එමගින් පෙන්වා දී ඇත්තේ 2025 එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 3,068ට සාපේක්ෂව එය 20%ක වර්ධනයක් වන බවය.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2026 වසර සඳහා රජයේ සමස්ත බදු ආදායම් වාර්ෂිකව රුපියල් බිලියන 4,910ක් වන අතර පළමු මාස 8 අවසන් වන විට එයින් 75%ක් රැස්කරගෙන ඇති බවය.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 8 තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රධාන රුපියල් බිලියන 4,002.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එයින් විශාලතම ආදායම බදු ආදායමින් සමන්විත වන බවද අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.
වාර්තාව මගින් පෙන්වා දී ඇති ආකාරය අනුව රජයේ ආදායමින් 92%ක් බදු ආදායමින් සහ 8%ක් බදු නොවන ආදායමින් ලැබී තිබේ.
බදු ආදායමේ සංයුතිය සැලකීමේදී භාණ්ඩ හා සේවා මත අයකරන බදු විශාලතම බදු ආදායම ලෙස පෙන්වා දී ඇති අතර එය සමස්ත ආදායමින් 59%ක් නියෝජනය කරන අතර ඒ තුළ ආදායම් බදු 21%ක් සහ විදේශීය වෙළඳාම මත අය කරන බදු 12%ක් ලෙසද වාර්තා වී ඇත.
මේ අතර මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ VAT බදු ආදායම ලෙස රුපියල් බිලියන 1,322.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය 2025 එම කාලයේ වාර්තා වූ රුපියල් බිලියන 1,084.2ට සාපේක්ෂව 22%ක වැඩිවීමක් බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ආදායම් බදු රුපියල් බිලියන 825.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය 2025 එම කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් බවත් අදාළ වාර්තාවේ සඳහන්ව තිබේ.
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් සංයුතිය අනුව ආදායම් බදු 48%ක්, VAT 24%ක්, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 9%ක් ලෙසත් වාර්තා වී ඇති අතර 2026 පළමු මාස 8 තුළ VAT ආදායම 28%කින් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 13%කින් ඉහළ ගොස් ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.
මේ අතර රේගු ආදායම්ද සැලකිය යුතු වර්ධනයක් වාර්තා වී ඇතැයිද අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර ඒ අනුව ආනයනික භාණ්ඩ සඳහා අය කරන VAT ආදායම පසුගිය 2025 පළමු මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 516.8 සිට 2026 එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 461.4 දක්වා රුපියල් බිලියන 565.5ක් හෙවත් 23%කින් ඉහළ ගොස් තිබේ.
එහිදී විශේෂයෙන් මෝටර් රථ මත අයකරන Excise Duty බදු ආදායම 2025 පළමු මාස 8 තුළ රුපියල් බිලියන 270.5 සිට 2026 එම කාලය තුළ රුපියල් බිලියන 347.0ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් බිලියන 76.5ක වැඩි වීමක් බවත් සඳහන් වේ.
එමෙන්ම රේගුව විසින් අයකරනු ලබන Excise Duty ආදායමේ 61%ක් මෝටර් රථවලින් ලැබී ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
බදු ආදායම් එකතු කිරීමේදී දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ප්‍රධාන දායකයින් වී ඇති අතර 2026 පළමු මාස 8 තුළ සමස්ත බදු ආදායමෙන් එක් එක් ආයතනය 47% බැගින් දායක වී තිබේ.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1,728ක් සහ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,727ක් රැස් කර ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 182ක් රැස් කර තිබේ.
එමෙන්ම අදාළ වාර්තාව අනුව 2026 පළමු මාස 8 තුළ රජයේ බදු ආදායම ශක්තිමත් වීමත් සමග රජයේ සමස්ත ආදායමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ.
ඒ අනුව 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා මාස 8ක කාලයේ පැවැති රුපියල් බිලියන 411ක අයවැය හිඟය වෙනුවට 2026 පළමු මාස 8 තුළ රුපියල් බිලියන 35.4ක අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති බවද අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.























































