
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලොකු පැටී නම් අපරාධකරුගේ සහෝදරයා වන පොඩි පැටී නැමැත්තාව ඊයේ (01) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
ඔහුව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 8.10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි.
පොලීසිය පැවසුවේ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලොකු පැටී නැමැත්තාගේ සොහොයුරාවන සුගත් නුවන් කුමාර හෙවත් පොඩි පැටී නැමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
ඔහු නිවසින් පිටතට ගොස්, නැවත නිවසට පැමිණීමේදී පාගමනින් පැමිණි අයෙක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පැවැසුවේය.
වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර අනතුරුව ඔහුව රෝහල්ගතක කිරීමේදී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
මෙම වසරේ අප්‍රේල් මස 16 වැනිදා රාත්‍රියේදීද ඔහුව වෙඩිතබා ඝාතනය කිරීමට උත්සහ දරා තිබුණද ඔහු ඉන් දිවිගලවාගෙන තිබුණි.
පොඩි පැටී නැමැත්තාට කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් තුනක් සිදුකර තිබේ.
මේ අතර ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමත් සමග වසරේ මේ දක්වා කාලය තුළදී වෙඩිතැබීම් 41ක් සිදුව ඉන් 23න් දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.





















































