
ඩුබායි සිට තෙල් අව්ව් බලා පියාසර කරමින් තිබියදී සහාය ගුවන් නියමුවාගේ ප්‍රහාරයට ලක්ව, බරපතල තුවාල ලැබූවත් සෙසු මගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ගුවන් නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් වූ ඉන්දියානු ජාතික ගුවන් නියමුවා පවසන්නේ තමන් කිසිම විටෙක අනෙක් අය මිය යාමට ඉඩ නොදීමට අධිෂ්ඨාන කරගෙන සිටි බවයි.
සමිත් මච්චර් නමැති මෙම නියමුවා සඳහන් කළේ, ප්‍රහාරයෙන් බිම වැටී තවදුරටත් ප්‍රහාරයට ලක්වෙමින් සිටියදී ගුවන් යානය පහළට ඇදී යමින් තිබෙන බව තමාට වැටහුණු බවත්, එම අවස්ථාවේදී යමක් කළයුතු බව තමාට හැඟුණු බවත්ය.
ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ වීඩියෝ ඇමතුමකින් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය: "මම බරපතළ තුවාල ලබා බිම වැටී සිටියත්, ඇතුළත සිට දොර විවෘත කිරීම සඳහා මගේ අවසන් උත්සාහය ගැනීමට මම මටම කියා ගත්තා."
"ඉන්පසු මගීන් ඇතුලට පැමිණ විශාල කාර්යභාරයක් ඉටු කළා. මම ඇත්තෙන්ම මගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා, ඒ අනෙක් අයට මියයාමට ඉඩදීමට නොහැකි නිසා."
පෙරේදා (30) ඩුබායි සිට තෙල් අව්ව් බලා පියාසර කරමින් තිබූ මෙම Flydubai ගුවන් යානය, ගමන ආරම්භ කර පැය දෙකහමාරකට පසු අඩි 17,000කට වැඩි උසක සිට හදිසියේ පහළට ඇදී ගොස් තිබේ.
ඒ ගුවන් නියමුවන් දෙදෙනා අතර හටගත් ගැටුමත් සමඟ ගුවන් යානය ඔවුන්ගේ පාලනයෙන් මිදීම හේතුවෙනි.
පසුව මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව ප්‍රහාර එල්ල කළ සහායක ගුවන් නියමුවා මැඩපවත්වා ගුවන් යානයේ පාලනය යළි අතට ගෙන එය සෞදි අරාබියේ වයඹ දිග නගරයක් වන ටබුක් වෙත ආරක්ෂිතව ගොඩබැස්වීමට සමත්විය.
ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ද "සැබෑ වීරයෙක්" ලෙස ප්‍රශංසාවට ලක් කර ඇති මෙම කැප්ටන්වරයා, රෝහල්ගත කිරීමෙන් පසු අබුඩාබි වෙත ගුවන් මඟින් ගෙන ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ.
වසර 17ක පියාසර අත්දැකීම් ඇති මච්චර් පැවසුවේ, "ඇස් පියාගෙන සිටියත් ගුවන් යානයට සිදුවන්නේ කුමක්දැයි මට කිව හැකියි" යනුවෙනි.
නියමුවාගේ ධෛර්යය, ඉවසීම සහ ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව බොහෝ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට හේතු වූ බවත්, මුළු ඉන්දියාවම ඔහු ගැන ආඩම්බර වන බවත් අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඔහුට ප්‍රකාශ කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දීය තානාපති දීපක් මිට්ටල් ඊයේ (01) ප්‍රකාශ කළේ සමිත් මච්චර් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ ඉක්මනින් සුවය ලබමින් සිටින බවය.
තම තුවාලය පිළිබඳව අදහස් දක්වමින් මච්චර් මෙසේ පැවසීය: "මම මේ තුවාලය තුවාලයක් ලෙස දකින්නේ නැහැ. මන්ද එසේ කිරීම මගේ සුවය ලැබීම තවත් ප්‍රමාද කරනවා යනුවෙනි.





















































