
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරුවී සිරදඬුවම් නියම වී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාළ නඩුකරය ඔක්තෝබර් මස 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී මේ වන විට ඇපමත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියේය.
තමන්ට නියමවී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.
ඒ අනුව එම අභියාචනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කර නොමැති අතර ඒවා ඉදිරිපත් කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කල් ලබාදීම සිදුකළේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල ඔක්තෝබර් මස 12 වනදා කැඳවන ලෙසත් නියම කළේය.





















































