කපිලගේ මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ නීතිඥයින් සාක්ෂි සඳහා කැඳවයි
June 2, 2026 11:45 am
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය සඳහා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ උදාර මුහන්දිරම් මහතා සාක්ෂි සඳහා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් සාක්ෂි සඳහා කැඳවමින් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) ඔවුන්ට සිතාසි නිකුත් කළේය.
මරණකරුගේ ජංගම දුරකතනය FBI හරහා අමෙරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා පියවර ගනිමින් සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණය හමුවේ දන්වා සිටියේය.
එහිදී මරණකරුගේ නිවසේ තිබී හමුවූ කොල පැහැති බඳපටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත වැවීම සඳහාද එම කොට්ඨාසය කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර හිමිවිය.
එමෙන්ම සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය ප්‍රකාරව සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීති අංක 31 දරණ ප්‍රතිපාදන ප්‍රකාරව කපිල චන්ද්‍රසේන නැමති මරණකරුට ලබා දුන් අවවාදයක් හෝ ඔහුගේ සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් යන අය වෙත ලබා දුන් ලිඛිත හෝ වාචික කරුණු අනාවරණය නොකිරීමට තීරණය කළ බවද සිය නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
19 සහ 20 වැනි සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් දෙදෙනාට සාක්ෂි ලබා දීම සඳහා ලබන 05 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නඩුව වැඩිදුර විභාගය සඳහා එම දිනය තෙක් කල් තැබීමටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
