IMF, වැට් සහ ජනතාව

IMF, වැට් සහ ජනතාව

December 13, 2023   03:20 pm

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සාර්ථකව නිම කළ බව අද (13) උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය.

ඒ සමගම ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබෙයි.

IMF නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම, ආදායම ඉහළ නැංවීම, විදෙස් සංචිත ප්‍රතිස්ථාපනය කිරීම, උද්ධමනය අඩුකිරීම යන කාර්යයන් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රසංසනීය දායකත්වයක් ලබාදී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ තමා එම ප්‍රවෘත්තිය ගැන සතුටු වන බවය.

එහෙත් ඉදිරිය තවත් අභියෝගාත්මක බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

"මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොලොත් රටක්. කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ... නායකයෝ කිසි කෙනෙක්ට රට භාරගන්න ධෛර්යයක් තිබුණේ නෑ..."

ජනාධිපතිවරයා එම වාග් ප්‍රහාරය එල්ල කළේ විපක්ෂ නායකයා ඉල්ලක්ක කර බව පැහැදිලිය.

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරුවන රජයට සහ බලධාරීන්ට සිදුවී තිබේ.

ඒ හේතුවෙන් රජය සිය ආදායම වැඩි කරගැනීමට විවිධ බරපතළ ආර්ථික තීරණ ක්‍රියාවට නගමින් සිටියි.

ඊට ආසන්නම තීරණය වන්නේ වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීමය.

මෙම තීරණය 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය සඳහාත් වැට් බද්ද පැනවෙයි.

රසායනික පොහොර හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති, දේශීයව නිෂ්පාදනය කරන සීනි, ස්වර්ණාභාරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා  දියර කිරි වැට් බදු අදාළ වන නව භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද දෙරණ "Big Focus" වැඩසටහන සමග එක්වෙමින් පැවසුවේ වැට් මගින් එකතුකර ගන්නා ආදායම, බදු ආදායමෙන් 40%ක් පමණ වෙතැයි අපේක්ෂා කරන බවය.

එහෙත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ වැට් වැඩිකිරීම හේතුවෙන් උද්ධමනය 2.5%කින් පමණ වැඩි වීමට ඉඩ ඇති බවත් දුප්පත් ජනතාව තවත් ආර්ථිකමය වශයෙන් දුර්වල විය හැකි බවත් ය.

විශේෂයෙන්ම රට තුළ පවතින යම් යම් කර්මාන්ත සහ ව්‍යාපාර ද තවත් අර්බුදවලට ලක්විය හැකි බවත් සඳහන් වෙයි.

නිෂ්පාදන ආර්ථිකයක් කරා ගොස්, රටේ සම්පත් වර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමුකර එමගින් සංචිත වැඩිකරගෙන ඉදිරියට යාම යහපත් ආර්ථික වර්ධනයක් සඳහා වැදගත් බව පිළිගත් මතයකි.

නමුත් 1948 දී ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකාව තවමත් ආර්ථික වශයෙන් නැගී සිටීමට අපොහොසත් ව තිබීමට වගකිව යුත්තේ කවුද ?

ඊට අඩුවැඩි වශයෙන් පාලකයින්, නිලධාරීන් සහ ජනතාව වගකිව යුතුය. ශ්‍රී ලාංකිකයා ණයට කන්න සමත් ජාතියක් වී ඇති බව අපිම කියා ගනිති.
  
අඟහරුවාදා (12) අද දෙරණ "වාද පිටිය" වැඩසටහන සමග එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, "මේ ආණ්ඩුවට රටේ ජනතාව අදාළ නෑ. ඔවුන් සිය තීරණ සඳහා ඕනෑම බොරුවක් කියනවා. කෲර පාලනයක්."