සතුන්ගෙන් සිදුවන වගා හානි කළමනාකරණයට විසඳුමක්

සතුන්ගෙන් සිදුවන වගා හානි කළමනාකරණයට විසඳුමක්

October 19, 2018   05:37 am

ශ්‍රී ලංකාවේ වගා කරන බෝගවලින් සියයට 30ත් සියයට 35 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව වනසතුන් මඟින් හානි සිදුවන බව වාර්තා වෙයි. 

එම නිසා වනසතුන්ගෙන් සිදුවන වගා හානි කලමනාකරණය කිරීම සඳහා තිරසාර  විසඳුම් හඳුනා ගැනීමේ සාකච්ඡාවක් ඊයේ(18) දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවැත්විණි.

 කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම එම ආයතනයේ දී පැවති අතර, ඊට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ සත්ව හිංසා වැළැක්වීම සඳහා කටයුතු කරන ස්වේච්ඡා සංවිධාන රැසක නියෝජිතයෝ ඊට සහභාගී වූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වනසතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා තිරසර විසඳුමක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත. 

එම නිසා එම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ අයතනය වෙත පවරනු ලැබ තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශ්චාත් අස්වනු කලමනාකරණ ආයතනය විසින් චීන විශේෂඥ කණ්ඩායමක් සමඟ කරන ලද සමීක්ෂණයකට අනුව අපේ රටේ පසු අස්වනු හානිය නිසා රු.මි. 18,000ක බෝග විනාශ වන බව හෙළි වී ඇත. 


එමෙන්ම ගොවීන් වගා කරන බෝගවලින් සියයට 30ත් සියයට 35 ත් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කරනු ලබයි. 

මෙම වගා හානි වැළැක්වීම සඳහා මෙතෙක් ගන්නා ලද සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී තිබේ.

එම නිසා සතුන්ටත්, මිනිසුන්ටත් හානියක් නොවන පරිදි ක්‍රියාත්මක කළ හැකි තිරසාර විසඳුමක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැමිණ සිටි විද්වතුන්ගෙන් ඉල්ලීමක් කළේය. 

ලෝකයේ බොහෝ රටවල් මෙම ගැටළුවට මුහුණ දී ඇති අතර, එම රටවල් අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ සතුන් විනාශ කිරීමයි. 

නමුත් ආගමික බලපෑමක් සහිත අප රටේ සතුන් විනාශ කිරීමට සංස්කෘතිමය වශයෙන් ඉඩක් නැති නිසාත්, මෙම ගැටළුවට නිසි විසඳුමක් ලබාදීම අවශ්‍ය නිසාත් තිරසාර විසඳුමක් අවශ්‍යතාවය පැන නැඟී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.