වෘත්තිය සමිති විනාශ කළ අය ගැන දිලිත් හෙළිකරයි

වෘත්තිය සමිති විනාශ කළ අය ගැන දිලිත් හෙළිකරයි

September 11, 2024   08:29 pm

මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය කප්පම් දේශපාලනයෙන් බේරාගැනීමට වාමවාදී සියලුදෙනා එක්විය යුතු බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (11) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිති පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක් අමතමිනි. 

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් මෙලෙස හමුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය කියන්නේ නිර්මල ව්‍යාපාරයක්. මෙන්ම මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි මේ දම්පාට.. වමයැයි ඇවිල්ලා අද වමනය දාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණ පාවලා දුන්නේ. අද මේක කප්පම් ව්‍යාපාරයක්. අද පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්ගේ අයිතිවාසිකම් යනුවෙන් පෙනි සිටිමින් ඒ හාම්පුතුන් සමග ඩීල්වල ඉන්න වෘත්තිය සමිති ව්‍යාපාරයක්. තමන්ගේ ශ්‍රමය හදවතින් දායක කරන ඒ සේවකයාගේ වැටුප් වර්ධකයටත් හොර රහසේ පොකට් ගහනවා නම්... ඒකත් අරගෙන ගිහිල්ලා තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය සඳහා අවශ්‍ය අරමුදලට දාගෙන ඉන්නවා නම්... එවැනි ආයතනයක් තියෙනවා නම්... බිල්ඩිමක් තියෙනවා නම්.. 09 වන තට්ටුවේ... ගහගන්න අකුණු සන්නායකයක්. අපි පෙනී සිටින්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ ඒ සැබෑ අයිතිවාසිකම් වෙනුවෙන්." 

"මම මගේ පළවෙනි සමාගම 1993දී ආරම්භ කරනකොට අපිට හිටියේ එක සේවකයයි. ඒ සේවකයා අවේ අත්උදව්වට. ඔහු ආව පළවෙනි දවසේම මම ඔහුට කිව්වා මට සර් කියන්න එපා... මට දිලිත් කියලා කියන්න කියලා. ඔහු අදටත් මට කතා කරන්නේ දිලිත් කියලා. ඒක නේද අපි විශ්වාස කරන සමානාත්මතාවය." 

"ඒ සහෝදරවරුන්ට මතක් කරන්නට ඕනේ මේ සහෝදරත්වය තියෙන්නේ හදවතේ. අපේ රට විනාශ කරන්නට එන වෘක බළකාය.  ඔවුන් පරාජය කළ යුතුයි. කොන්දේසි විරහිතව."

මේ අතර සර්වජන බලයේ ආසන සංවිධායකවරු කිහිපදෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් මහතා අතින් සිදුකෙරුණි.