සජිත් ගාවට ගිය හේතුව ගීතා කියයි

සජිත් ගාවට ගිය හේතුව ගීතා කියයි

September 11, 2024   06:41 pm

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙවර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අද (11) කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ඇය ඒ බව පැවසුවාය. 

"ආණ්ඩුවෙන් මම කිසිදෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. මේ රටේ ස්වහසක් කලාකාරයින්ගේ හිත දිනාගත්ත කෙනෙක් මම. අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා. එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද. තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට ඔය වගේ සිඟිති ආලත් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට.  ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා. "

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කරමින් පසුගිය 09 වනදා මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජනරැලිය සඳහා එක්ව සිය සහයෝගය පළ කළාය.

ඒ වන විට ඇය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියාය.

නමුත් ඊයේ (10) වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.

එහිදී ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගීතා කුමාරසිංහ මහත්මියව ද රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බවය.