ගාසා නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුම අරඹයි

ගාසා නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුම අරඹයි

August 21, 2025   04:33 pm

ගාසා නගරය (Gaza City) සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමේ මූලික පියවර ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසා ඇත.

හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල මර්මස්ථානයක් වන මෙම ගාසා නගරය ආසන්න ප්‍රදේශවලට දැනටමත් ඊශ්‍රායල සෙබළුන් යොදවා ඇති අතර, සමස්ත සෙබළුන් 60,000ක් පමණ කැඳවීමට නියමිත බව ද ඊශ්‍රායලය මීට පෙර සිටම පවසා තිබුණි. 

ඒ අනුව ඊශ්‍රායල හමුදාව සැලසුම් කළ මෙම ගොඩබිම් ප්‍රහාරය ආරම්භ කිරීමත් සමග සිය ගණන් පලස්තීනුවන් ගාසා නගරයේ ඇතැම් ප්‍රදේශවලින් පලා යමින් සිටින බව සඳහන්.

මෙම ප්‍රහාරයෙන් සිදුවිය හැකි මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා වහාම සටන් විරාමයක් ඇතිකරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.

මේ අතර නැගෙනහිර ජෙරුසෙලම කේන්ද්‍රකොටගත් පලස්තීන දේශයක් ගොඩනැංවීමේ සිහිනය තවදුරටත් දුරස්ථ කරන බටහිර ඉවුරේ නව යුදෙව් ජනාවාස ව්‍යාපෘතියට අවසන් අනුමැතිය හිමිවූ බව ඊශ්‍රායල රජයේ අන්ත දක්ෂිණාංශික මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්රිච් පවසා තිබේ.

E-1 ලෙස නම් කළ මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන නව යුදෙව් ජනාවාසය මගින් නැගෙනහිර ජෙරුසලම, පලස්තීන බටහිර ඉවුරේ අනෙකුත් ප්‍රදේශවලින් වෙන්කිරීමක් සිදුවනු ඇත.

බටහිර ඉවුරේ මිලියන 2.7ක් පමණවන පලස්තීනුවන් සිටින අතර, එහි ඉදිකළ යුදෙව් ජනාවාසවල ලක්ෂ 7ක පමණ පිරිසක් දැනටමත් වාසය කරන බව සඳහන්.