ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන් 
සයුරෙන් එතෙර

ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන් 

August 21, 2025   04:13 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී අතර හමුවෙන් පසු දෙරට අතර සබඳතාවල වැදගත් තීරණ රැසක් ගෙන තිබේ.

ඉන් ප්‍රමුඛ එකක් වන්නේ ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමය.

ඉන්දියාව සහ චීනය අතර මෙලෙස ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ වන්නේ 2020 වසරෙන් පසුවය.

එමෙන්ම දෙරට අතර ආයෝජන සහ වෙළඳ සබඳතා පුළුල් කිරීමට ද දෙපාර්ශ්වය එකඟවී තිබේ.

ඉන්දු - චීන දේශසීමාව හරහා වෙළඳාම ද ඊට ඇතුළත් ය. 

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට 25%ක අතිරේක තීරුබද්දක් පැනවූයේ රුසියානු තෙල් මිලදී ගැනීමට දඬුවම් පැනවීමක් ලෙසය.

දෙරට අතර වෙළඳ සාකච්ඡා නතර වී ඇති අවස්ථාවක එම අතිරේක තීරුබද්ද සමග අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරුබද්දක් අගෝස්තු 27 වනදා සිට ගෙවීමට ඉන්දියාවට සිදුවී තිබේ. 

ඉන්දීය පිරිපහදුකරුවන් රුසියානු බොරතෙල් පිරිපහදු කිරීමෙන් පසු විවෘත වෙළෙඳපොළේ විකුණා ඉහළ ලාභ ලබන බවට අමෙරිකාව චෝදනා කළේය.

කෙසේවෙතත් මේ වනවිට රුසියානු බොරතෙල් වැඩි වශයෙන් මිලදී ගැනීමට චීනය පියවර ගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව චීනය දැනටමත් අතිරේක තෙල් නෞකා 15ක තෙල් තොග මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව සහ චීනය රුසියානු බොරතෙල් වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹුණේ යුක්‍රේන යුද්ධය හේතුවෙන් බටහිර රටවල් රුසියානු බොරතෙල් මිලදී ගැනීමට ප්‍රතික්ෂේප කිරීම නිසාය.

එමෙන්ම රුසියාව, චීනය සහ ඉන්දියාව අතර ත්‍රෛපාක්ෂික සාකච්ඡා යළි ආරම්භ කිරීමේ වැදගත්කම ද මේ වනවිට මතුවී තිබේ.
 



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.