එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසන් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසන් කරයි

June 28, 2025   12:00 am

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් 2025 ජුනි 23 සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සිදු කළ සිව් දින නිල සංචාරය අවසන් කළේය.

මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූයේය. ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයා, අගවිනිසුරුවරයා සහ රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකුද හමුවූයේය.

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම, ජාතික සංහිඳියා ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ සමාජ යුක්තිය සහතික කිරීම සඳහා වන පියවර පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවංක කැපවීම රජය මහ කොමසාරිස්වරයාට නැවත අවධාරණය කළ අතර විශ්වාසය ගොඩනැගීමේ පියවර, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, දූෂණ විරෝධී මුලපිරීම්, සංහිඳියා යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යෑම සඳහා නව නීති ඇතුළු දැනටමත් ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග පිළිබඳවද රජය විසින් අවධාරණය කෙරිණි.

සාකච්ඡා අතරතුර, මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා සමාජයේ සියලු අංශවල සිදු වී ඇති ඔහු දුටු යහපත් වෙනස්කම් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළේය. සදාචාරාත්මක පාලනය, මානව හිමිකම් සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සැලසුම් ඔහු අගය කළ අතර රජයේ ඉදිරි ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා සිය කාර්යාලය සහය වන බවට සහතික විය. දූෂණය සහ අනිසි කළමනාකරණය තුරන් කිරීම සඳහා රජයේ පියවර තමා දිරිමත් කළ බවත් එම යහපත් තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ කොමසාරිස් ටර්ක් පැවසුවේය. ගැටලු විසඳීම සඳහා රජය සතු සැබෑ විවෘතභාවය  සාකච්ඡා මඟින් පෙන්නුම් කර ඇති බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවට සාමකාමී සහජීවනයේ ආදර්ශයක් බවට පත්විය හැකි අතර රටේ විවිධත්වය ශක්තියක් ලෙස සංවර්ධනය සඳහා යොදා ගත හැකි බවද ප්‍රකාශ කළේය. ලෝකය සහ බහුපාර්ශ්වික පද්ධතිය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවක තමා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සුබවාදී බලාපොරොත්තුවකින් බව මහ කොමසාරිස්වරයා පැවසුවේය.

මහ කොමසාරිස්වරයා කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය සහ මහනුවර යන ප්‍රදේශවල ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සමාජ ඇතුළු රාජ්‍ය නොවන පාර්ශවකරුවන් කිහිප දෙනෙකුද හමුවූයේය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානි පූරණ කාර්යාලය සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය යන සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික ආයතනවල නියෝජිතයින් සමඟ මහ කොමසාරිස්වරයා කොළඹදී සම්බන්ධ විය. එම නියෝජිතයින් විසින් අදාළ ආයතනවල කටයුතු සහ අදාළ වැඩ සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව මහ කොමසාරිස්වරයාට විස්තර කරනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමඟද සාකච්ඡා කළ අතර කොමිසමේ දිගුකාලීන කාර්ය භාරය ද අගය කළේය.

මහනුවරදී, මහ කොමසාරිස් ටර්ක් මහතා දළදා මාලිගාවට ගොස් එහි දියවඩන නිළමේවරයා හමුවී තේවාව පැවැත්වීමේ උත්සවයට සහභාගී වූයේය. ඔහු මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැදුටුවේය.

යාපනයේදී ඔහු පූජනීය නල්ලූර් කෝවිලට ගොස් ආගමික කටයුතුවලට සහභාගී වූයේය.

රටේ විවිධ ප්‍රදේශවලට කළ සංචාරයේදී මහ කොමසාරිස්වරයා උතුරු හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සිවිල් සමාජ නියෝජිතයින් මෙන්ම මහජනතාවද හමුවිය. ඔහු යාපනයේ චෙම්මනි සොහොන් බිම නැරඹීමටද ගියේය.

සංචාරය පුරාවට ලබා දුන් සහයෝගීතාව වෙනුවෙන් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට සිය ඉමහත් කෘතඥතාව පළ කළ අතර, තම කාර්යාලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සිදුකරන ඵලදායී කාර්ය භාරය අගය කළේය.

2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු විසින් සිදු කළ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බව ටර්ක් මහ කොමසාරිස්වරයා පැවසුවේය.