මාරක යතුරුපැදි අනතුරු කිහිපයක්

මාරක යතුරුපැදි අනතුරු කිහිපයක්

June 28, 2025   08:07 am

දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 04 මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඊයේ (27) සහ අද (28) දින සිදුවූ මෙම අනතුරු සියල්ලම යතුරුපැදි අනතුරු බවය.

ඒ අනුව ඊයේ උදෑසන නාරම්මල පොලිස් වසමේ කඩහපොල කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී කටුපොත දෙස සිට කඩහපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා කටුපොත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 19ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම මීටියාගොඩ කහව මාර්ගයේදී මීටියාගොඩ දෙස සිට කහව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී දුරකථන කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණකරු අවුරුදු 28ක් වූ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ මහනුවර මාර්ගයේ මාහේන ප්‍රදේශයේදී මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු සහ පදික කාන්තාව බරපතළ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික කාන්තාව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 72ක් වූ මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර අද (28) අලුයම් කාලයේදී පොතුවිල් මාර්ගයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී පෙරළී ගොස් තිබේ.

අනතුරුන් පැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 30ක් වූ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.