පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් නජ්මුල් ඉල්ලා අස්වෙයි

පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් නජ්මුල් ඉල්ලා අස්වෙයි

June 28, 2025   12:21 pm

සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කර තිබේ.

බංග්ලාදේශ ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් පරාජයට පත්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ටෙස්ට් නායකත්වය තවදුරටත් පවත්වා ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවය.

තමන් මෙම තීරණය ගනු ලැබුවේ කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් බවත් තමන්ගේ මෙම තීරණය කණ්ඩායමට උපකාරි වනු ඇති බවත් ඔහු එහිදී පවසා ඇත.

නජ්මුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමට ටෙස්ට් තරග 14කදී නායකත්වය ලබා දී ඇති අතර 2023 නොවැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැති තරගයට පෙර ඔහු මෙම නායකත්වය භාර ගනු ලැබීය.

ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරග 4ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහිදී 2024 අගෝස්තු මාසයේදී පාකිස්ථානයේදී ලැබූ ඓතිහාසික අඛණ්ඩ ජයග්‍රහණ දෙකක් ද විය.