කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

June 28, 2025   06:41 am

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.

සිය Truth Social  ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් ඉදිරි දින 7 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවත් සිය සටහන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.