පරිපූරක වෛද්‍ය සේවාවට සම්බන්ධ පත්වීම් පිළිබඳව අතුරු නියෝගයක්

පරිපූරක වෛද්‍ය සේවාවට සම්බන්ධ පත්වීම් පිළිබඳව අතුරු නියෝගයක්

May 27, 2025   08:23 pm

සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව වෛද්‍ය රසායනාගාර භෞත චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (27) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

පෙත්සම යළි ලබන 11 වනදා කැඳවීමට නියමිත අතර එදින තෙක් මෙම පත්වීම් ලබාදීමට අදාළව දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙසත් අධිකරණය විසින් කළ නියෝගයේ දැක්වෙයි.

මෙම පත්වීම් පිරිනැමීම හේතුවෙන් අසාධාරණයට පත්වන උපාධිධාරින් 270 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. 

විදේශීය හා පුද්ගලික විශ්වවිද්‍යාලවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මේ හරහා අවස්ථාව ලැබෙන බවත් ඒ තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත. 

ඒ අනුව අදාළ පත්වීම් පිරිනැමීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.