සමසෞඛ්‍ය පත්වීම් ප්‍රදානය අත්හිටුවා ඇතැයි රවී කුමුදේශ් කියයි

සමසෞඛ්‍ය පත්වීම් ප්‍රදානය අත්හිටුවා ඇතැයි රවී කුමුදේශ් කියයි

May 27, 2025   07:46 pm

හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පත්වීම් ලබාදීමේ පත්වීම් ප්‍රදානය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පන ප්‍රකාශ කළේය.

"මේ අසාධාරණයට පත් වුණු උපාධිධාරීන් අද දවසේ අභියාචනාධිකරණයට ගිහින් තිබුණා මේ අවනඩුව කියන්න. අභියාචනාධිකරණයට මේ කාරණාව පිළිබඳ සැලකිල්ලට අරගෙන හෙට දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට යන ඒ සීමාවාසික පුහුණු පත්වීම් සහ රාජ්‍ය සේවාවේ පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සහ ඒ උත්සවය අත්හිටවන්නට කියලා නියෝග කරලා තියෙනවා."

‍පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් අද (27) උදෑසන 8ට වැඩවර්ජනයක් ආරම්භ කළේය.

ඒ සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමිනි.

වර්ජනය හේතුවෙන් රෝහල් රැසක රසායනාගාර සේවා සහ භෞත චිකිත්සක සේවා ක්‍රියාත්මක කෙරුණේ නැත. 

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසන්නේ, මෙම වර්ජනය පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, මාතෘ සහ ළමා රෝහල් සහ මධ්‍යම ලේ බැංකුවේ ක්‍රියාත්මක නොකරන බවය. 

මෙම වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් සුපුරුදු පරිදි දුෂ්කරතාවට පත්විය.