අයහපත් කාලගුණය ප්‍රදේශ රැසකට බලපෑම් කරයි

අයහපත් කාලගුණය ප්‍රදේශ රැසකට බලපෑම් කරයි

May 27, 2025   06:55 pm

වැසි සමඟ ඊයේ (26) රාත්‍රීයේ ඇතිවූ තද සුළං තත්ත්වයෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ගස් කඩාවැටී තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩාවැටීම් වාර්තා විය.

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මේ දින කිහිපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇඳහැලෙමින් පවතී.

අද (27) උදෑසන කාලයේ සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට විටින් විට වැසි ඇද හැලුණි.

ඊයේ රාත්‍රීයේ වැසි සමඟ ඇතිවූ තද සුළඟකින් කැළණිමුල්ල ප්‍රදේශයේ ගස් කිහිපයක් කඩාවැටීමෙන් ප්‍රදේශයේ විදුලි රැහැන් කණු කිහිපයකට හානි සිදුව තිබුණි.

එමෙන්ම කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය අසල මාර්ගයක ඇති ගසක් ද මෝටර් රථ 2ක් මතට කඩාවැටී හානි විය.

ඊයේ රාත්‍රියේ කොළඹ නගරය හරහා හමාගිය තද සුළඟකින් කොළඹ විශ්වවිද්‍යාලයේ විවෘත සහ දුරස්ථ අධ්‍යයන මධ්‍යස්ථානයේ වහලයටත් හානි සිදුව තිබේ.

හලාවත වැල්ල ග්‍රාමයේ නිවාස 6කටත් තද සුළං අලාභ හානි සිදුකර ඇත.

ඊයේ පස්වරුවේ සිට අද උදෑසන දක්වා පැවැති තද සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවරයින් ද මුහුදු යෑමෙන් වැළකී සිටියි.

එමෙන්ම හමාගිය තද සුළඟකින් ඔහිය දුම්රිය ස්ථානය අසල හෝටන්තැන්න මාර්ගයට විශාල ගසක් අද අලුයම 5ට පමණ කඩාවැටී තිබුණි.

මෙලෙස කඩාවැටී තිබුණේ ඔහිය දුම්රිය ස්ථානය පිටුපස හෝටන්තැන්න මාර්ගයේ මීට පෙර නායයෑමට ලක්වූ කොටසක ආරක්ෂිත බැම්මක් සකස් කරමින් සිටි ස්ථානයට ඉහළින් පිහිටි ගසකි.

ගස කඩාවැටීමෙන් එම ස්ථානයේ නවතා තිබූ ඉදිකිරීම් සමාගමේ වාහන හා යන්ත්‍ර කිහිපයකටත් , ඔහිය දුම්රිය ස්ථානයේ වහලයටත් හානි සිදුව තිබුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මේ දිනවල ඇඳහැලෙන තද වැසි සමඟ මතුරට , මන්දාරම්නුවර , පදියපැලැල්ල ආදී ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවලට ස්ථාන කිහිපයකින් පස්කඳු කඩාවැටීමෙන් බාධා එල්ල වී තිබේ.

මේ අතර අනුරාධපුර තිසා වැවේ බැම්ම මත නවතා තිබූ ත්‍රීරෝද රථයක්, ප්‍රදේශයට හටගත් තද සුළඟත් සමඟ අනතුරට ලක්වූ පුවතක් අද වාර්තා විය.

ත්‍රීරෝද රථයේ හිමිකරු පැවසුවේ තමා දිය නාමින් සිටියදී හටගත් තද සුළඟත් සමඟ රථය ගසාගෙන ගොස් වැවට ඇද වැටුණු බවය.

පසුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ත්‍රීරෝද රථය ගොඩගනු ලැබීය. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවේ නිරිතදිග කොටස, බටහිර මුහුදු ප්‍රදේශ සහ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව වළාකුළු වර්ධනය වෙමින් පවතින බවය.

මේ හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී සිදුවනු ඇති.

පවතින වැසි තත්ත්වය සමඟ මදුරු ව්‍යාප්තියත් ඉහළ යාමෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයන්ගෙන් ආරක්ෂා වීමට ජනතාව පියවර ගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.