පිහිණුම් තටාකයේ ගිලී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

පිහිණුම් තටාකයේ ගිලී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

June 30, 2024   09:08 am

ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ දියේ ගිලීම් සිද්ධි 3කින් අවුරුදු 05ක කුඩා දරුවෙකු සහ තවත් අයෙක් මියගොස් ඇති අතර 14 හැවිරිදි සිසුවෙක් අතුරදන්ව තිබේ.

ඊයේ (29) එම සිදුවීම් වාර්තා වූ බව පොලීසිය පවසයි.

කඳාන පොලිස් වසමේ උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක පිහිණුම් තටාකයක දිය නාමින් සිටි කුඩා දරුවෙකු දියේ ගිලී මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, දෙමටගොඩ, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි.

එම දරුවා ඇතුළු තවත් දරුවන් කිහිපදෙනෙකු සමග පිහිණුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇත.

දරුවාගේ පියා විසින් දරුවාව ජාඇල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මේ අතර මාන්කුලම්, ඉරණමඩු ජලාශයේ දිය නෑමට ගොස් සිටි සිසුන් 05 දෙනෙකුගෙන් එක් සිසුවෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.

අතුරුදන් වී සිටින සිසුවා තිරුමුරුකණ්ඩි, මාන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි සිසුවෙකි.

මේ අතර වැලිගම පොලිස් වසමේ පැලෑන ප්‍රදේශයේදී වෙරළේ දියනාමින් සිටි පුද්ගලයෙකු දිය රළකට හසුවී අතුරුදන්ව ඇත.

අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ඊයේ රාත්‍රී කාලයේදී වැලිගම වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වෙදමුද්ලලවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි.