මත්ලෝලියාගෙන් එළියට ආ HIV භීතිය 

මත්ලෝලියාගෙන් එළියට ආ HIV භීතිය 

March 27, 2024   08:58 pm

මීගමුව පොලිස් කොට්ඨාසයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක් වටලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒවා වසා දමා තිබේ.

එම සම්භාහන මධ්‍යස්ථානවල සේවිකාවන් අතුරින් දෙදෙනෙකුට එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව පොලීසිය පැවසීය.

එමෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන නිසි අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවත් හෙළිවී තිබේ.

මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන 53ක් මීගමුව පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක්කෙරුණේ පසුගිය සතියක පමණ කාලයක සිට ය.

ඒ මීගමුව කොට්ඨාසය භාර නිලධාරී පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙනි.

ඔහු එම මෙහෙයුම දියත් කරන්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමුකෙරෙන "සවිය වැඩසටහන" අතරතුර එක් මත්ලෝලියෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත් ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමග ය.

එම ආසාදිතයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පුද්ගලයෙකි.

ඉන් අනතුරුව මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන හදිසි පරික්ෂාවට ලක්කිරීමේ මෙහෙයුම ඇරඹුණී.

එම වැටලීම අතරතුර එම මධ්‍යස්ථානවල සම්බාහන සේවාවල නියුතු තරුණියන් 120 දෙනෙකු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

පොලීසිය පැවසුවේ, එම පිරිස අතරින් දෙදෙනෙකු HIV අසාදිතයන් බවට අනාවරණ වූ බවය.

ඒ අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිටි බව මීගමුව පොලීසිය සඳහන් කළේය.

එම දැරිය පවුලේ ඥාතීන් සමග ඇතිකරගත් ආරවුලක් මත සිය නිවසින් පැමිණ ඇති අතර කිසියම් පුද්ගලයෙක් ඇය, සම්බාහන මධ්‍යස්ථානයක් වෙත අලෙවි කර තිබුණි.

එම 15 හැවිරිදි දැරිය සමග ලිංගික සබඳතා පැවැත්වූ එක් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පොලීසිය පැවසීය.

එමෙන්ම තවත් සමාජ රෝග වැළඳුනු සම්බාහන සේවිකාවන් අටදෙනෙක් මෙහිදී සොයාගත් බව පොලීසිය පවසයි.

මෙම පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයේ මීගමුව, කොච්චිකඩේ සහ සීදුව යන ප්‍රදේශ තුළ සියලු සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට මීගමුව පොලීසිය මේ වන විට කටයුතු කර තිබේ.

එම සම්බාහන මධ්‍යස්ථානවල පුවරුද ඉවත්කිරීමට පොලීසිය පියවර ගෙන තිබූ බව සඳහන් ය.

මෙම සම්බාහන මධ්‍යස්ථානවල නීත්‍යනුකූලභාවය පිළිබඳ මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් අප විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මීගමුව පොලිස් කොට්ඨාසයේ කිසිදු සම්බාහන මධ්‍යස්ථානයක් නීත්‍යනුකූලව පවත්වාගෙන ගොස් නොමැති බවය.

ඒ අනුව එම මධ්‍යස්ථාන නගර සභාවේ අවසරයකින් තොරව බලපත්‍ර රහිතව පවත්වාගෙන ගොස් ඇති බැවින් ඒවා නියාමනය කිරීමට නොහැකි බවත් නාගරික කොමසාරිස්වරයා පැවසීය.

බලපත්‍ර රහිතව සහ සමාජය අනතුරේ හෙළමින් මෙලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ද සිය ප්‍රසාදය පළ කළේය.