මුන්නේෂ්වරම් සත්ව බිලි පූජා නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 3දා තෙක් කල්දමයි

මුන්නේෂ්වරම් සත්ව බිලි පූජා නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 3දා තෙක් කල්දමයි

August 29, 2014   02:37 pm

හලාවත ශ්‍රී භද්‍රකාලි මුන්නේෂ්වරම් දේවාලයේ සිදු කෙරෙන වාර්ෂික සත්ව බිලි පූජාව තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 03 වනදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.

ඒ අනුව එදින අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

බිලි පූජාව තුළින් සත්ව හිංසා පනත උල්ලංඝණය වන බවට ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් ගොනු කර තිබුණි.

ඊට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර අගවිනිසුරු මො‍හාන් පීරිස්, කේ. ශ්‍රී පවන් හා බු‍වනෙක අලුවිහාරේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම තීන්දුව එසේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ.

හලාවත ශ්‍රී භද්‍රකාලි මුන්නේෂ්වරම් දේවාලයේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පූජාව ඉකුත් වසරවල සමාජය තුළ දැඩි කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.

මෙම බිලි පූජාව නතර කරන ලෙස ඉල්ලා ආගමික සංවිධාන කිහිපයක්ම අධිකරණයේ පිහිට පතන අයුරුද දැක ගත හැකි වූ අතර මෙය නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයාට ද ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.