සර්වඥ ධාතු ප්‍රදර්ශනය කෙරෙන කාලයේ බිලි පූජා එපා

August 30, 2012   06:52 am

ශ්‍රී ලංකාව තුළ සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ සත්ව බිලි පූජා නතර කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර තිබේ.

කපිල වස්තුපුර සර්වඥධාතුන් ප්‍රදර්ශනය කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක,බන්දුල ජයසේකර මහතා පවසයි.

කපිලවස්තුපුර, ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙරට තුළ ප්‍රදර්ශනය කරන කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව සර්වඥධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා සැප්තැම්බර් මස 05 වන දින සිට 11 වන දින දක්වා තවත් සතියක කාලයක් අවස්ථාව සැලසී ඇති බව සඳහන්ය.

ලබන 31 වන දා සහ සැප්තැම්බර් පළමු වැනි දා වාරියපොළ ශ‍්‍රී සුමංගල පිරිවෙනේ දී ප‍්‍රදර්ශනය කෙරෙන අතර සැප්තැම්බර් 2 , 3 සහ 4 යන තෙදින තුළ මාතර කොටිකාගොඩ රජමහා විහාරයේ දී කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.

දීර්ඝ කෙරෙන කාලය තුළ තිස්සමහාරාමය, කැලණිය, කොළඹ යන ප‍්‍රදේශ වල ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.