මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව අත්හිටුවයි

August 30, 2012   01:17 pm

ඡායා රූ-ජූඩ් සමන්ත



ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ලබන පළමුවෙනිදා පැවැත්වීමට නියමිත සත්ව බිලි පූජාව නැවැත්වීමට තීරණය කළ බව මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජකවරයා පවසයි.

සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කරන කාලය තුළ සත්ව බිලි පූජාව නවත්වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබීම හේතුවෙන් මේ වසරේ පමණක් පූජාව අත්හිටුවන බව කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් ප්‍රධාන පූජකවරයා අද දෙරණට කියා සිටියේය.

කොවිල් පරිපාලන සභාව අද (30) පෙරවරුවේ රැස්වී මෙම තීරණය ගත් බව පූජකවරයා පෙන්වා දුන්නේය.

මීට ප්‍රථම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද අදාළ බිලි පූජාව නවත්වන ලෙස ඉල්ලීමක් කර තිබුණු බවද හෙතෙම සඳහන් කළේය.

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේදී ලබන මස 01 වැනිදා සිදුකිරීමට නියමිත සත්ත්ව බිලි පුජාව නතර කරන ලෙස ඉල්ලා ආගමික හා සත්ත්ව සංවිධාන 17ක් ඉකුත් 28 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරනු ලැබිණි.

ජාතික හෙළ උරුමය ප්‍රමුඛ එම සංවිධාන විසින් ගොනුකරනු ලැබු අදාළ නඩුව ලබන මස 04 වැනිදා සලකා බැලීමට තීරණය කර තිබේ.