ජනපති කිව්වොත් සලකා බලන්නම්

August 30, 2012   11:29 am

ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ලැබුනහොත් පමණක් ලබන පළමුවෙනිදා පැවැත්වීමට නියමිත සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජකවරයා පවසයි.

සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කරන කාලය තුළ සත්ව බිලි පූජාව නවත්වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් ප්‍රධාන පූජකවරයා මේ බව පවසා ඇත.

පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ බිලි පූජාව නවත්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් අධිකරණ හෝ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර නොමැති බව කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් ප්‍රධාන පූජකවරයා පවසයි.

ජනාධිපතිවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කළහොත් පමණක් මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ සෙසු පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බිලි පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ප්‍රධාන පූජකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ලබන මස පළමු වෙනිදා පැවැත්වීමට නියමිත සත්ව බිලි පූජාවට අවශ්‍ය සියළු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පූජකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.