බිලි පූජාව නතර කරන්න - හෙළ උරුමය ජනපතිගෙන් ඉල්ලයි

August 27, 2012   04:52 pm

ආගමික මුවාවෙන් හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ දී ලබන 01 වැනිදා සිදුකිරීමට නියමිත බිලි පුජාව නැමැති නින්දිත ක්‍රියාව නතර කිරීමට මැදිහත් වන්නැයි ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ජල භීතිකාව හේතුවෙන් සුනඛයින් මැරීම නීතියෙන් පවා තහනම් වු රටක මේ ආකාරයට සිදුවන සත්ත්ව සංහාරයකට ඉඩදී බලා සිටින්නේ මන්දැයි එම පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රශ්න කරයි.

මෙවැනි නින්දිත ක්‍රියා සිදුකරන රටකට, ජාතියකට අධ්‍යාත්මික දියුණුවක් ඇති නොවන බවත් බුදුදහම පවා සත්ත්ව ඝාතනය නොකළ යුතු බවත් පෙන්වාදී ඇතැයි උන්වහන්සේ කොළඹදී අද (27) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මුන්නේෂ්වරම් කෝවිලේ පැවැත්වෙන බිලි පූජාවට පවුල්පිටින් ජනතාව සහභාගී වන බවත් ඒ තුළ කිසිදු ආගමික භක්තියක් නැති බවත් සෝභිත හිමියන් පැවසුවේය.

ලූනු මිරිස් කපමින්, එළුවන්, කුකුළන් අමු අමුවේ තම්බා කෑලි කෑලි කපා ඉන් සියයට 10% ක් කෑමට ගන්නා බවත් ඉතිරි 90% මස් කඩ හිමියන්ට දෙන බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේය.

මෙය ආගමික ප්‍රතිපදාවක් මුවාවෙන් සිදුකෙරෙන නින්දිත ක්‍රියාවක් බවත් රජයට මෙය නැවතිය හැකි බවත් ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේය.

යුද්ධය දිනා ගත් නිසා කාලී මාතාවට පුද පුජාවක් වශයෙන් මෙය පවත්වනවා යැයි පවසමින් මේ තුළ සිදුවන්නේ අශිලාචාර ක්‍රියාවලියක් බැවින් මෙය නතර කිරීමට රජය වහා මැදිහත් විය යුතු යැයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.