මුන්නේෂ්වරම් බිලි පූජාව තාවකාලිකව අත්හිටුවීමට නියෝගයක්

September 13, 2011   08:09 am

හලාවත මුන්නේෂ්වරම් කාලි දේවාලයේ අද(13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ බිලි පූජාව තාවකාලිකව අත්හිටුවන ලෙස හලාවත අතිරේක දිසාවිනිසුරු ආර්.එම්.ජයවර්ධන මහතා නියෝග කර තිබේ.

හලාවත පොලිස් කොට්ඨාසයේ බුද්ධි අංශය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

හලාවත අතිරේක දිසා විනිසුරුවරයා විසින් පනවන ලද නියෝගය පොලිස්පතිවරයා වෙත ද යවා ඇති අතර ඒ අනුව එම සත්ත්ව බිලි පූජාව අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

හලාවත මුන්නේෂ්වරම් කාලි දේවාලයේ සෑම වසරකම සතුන් බිලිදෙමින් බිලි පූජා පැවැත්වෙන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ඊට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත්වුණි.

මේ අතර මෙම බිලි පූජාව අත්හිටුවන ලෙසට සත්ත්ව මිත්‍රත්ව සංගමයක් විසින් හලාවත දිසා අධිකරණයේ පනවා ඇති නඩුවක් මේ දිනවල විභාග වෙමින් පවතියි.

මෙම සත්ත්ව බිලි පූජාව වහාම අත්හිටුවන ලෙස ප්‍රදේශයේ විවිධ සංවිධාන විසින් හලාවත ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සහ පුත්තලම දිසා ලේකම්වරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.