දූෂකයාට දුන් පිහි පහර පියාට මරුකැඳවයි - දියණියගේ පියා අත්අඩංගුවේ

දූෂකයාට දුන් පිහි පහර පියාට මරුකැඳවයි - දියණියගේ පියා අත්අඩංගුවේ

August 25, 2014   03:50 pm

කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී කෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ තම දියණියට අතවර කළ තරුණයෙකුට අදාළ දියණියගේ පියා විසින් බවත්, එහෙත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තරුණයාගේ පියා බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.

නඩු විභාගයක් සඳහා අධිකරණයට පැමිණි දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස අද(25) පෙරවරුවේ අධිකරණ භූමියේදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් කෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා විය.

කෙසේ වෙතත් අදාළ ඝාතනය සිදුකළ පුද්ගලයා මේවන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඝාතන චෝදනා එල්ලවී ඇති සැකකරු විසින් මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ මීට දින කිහිපයකට ඉහතදී තම 17 හැවිරිදි බාලවයස්කාර දියණියට බරපතළ ලිංගික අතවර සිදුකොට අනතුරුව එකී ඡායාරූප අන්තර්ජාලයට යොමුකරන බවට තර්ජනය කොට රු.12,000 ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලූ තරුණයෙකුටය.

තම දියණිය හා ලිංගික අපචාර සිදුකළ තරුණිය අතර සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇති කරගත් දැන හැඳුනුම්කම මත සම්බන්ධයක් ඇතිවී තිබුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මොරටුව ප්‍රදේශයේ පදිංචි තරුණයා තම දියණිය හමුවී ඇය හෝටලයකට කැටුව ගොස් පසුව මත්පෙති විශේෂයක්දී ඇය නිරුවත් කොට දූෂණය කර ඇති බවත් ඝාතන චෝදනා එල්ලවී ඇති පියා පොලීසියට පවසා තිබේ.

පසුව එදින මෙම 17 හැවිරිදි දැරිය නිවසට පැමිණි පසු ඇය දූෂණයට ලක් කළ 25 හැවිරිදි තරුණයා පවසා ඇත්තේ තමන් හා ලිංගිකව හැසිරෙන වීඩියෝ දසුන් ඇති බැවින් රු.12,000 ක මුදලක් නොදුන්නහොත් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවයි.

එම සිද්ධියෙන් බියට පත්වූ දැරිය සියල්ල තම පියාට පවසා ඇති අතර අනතුරුව දෙදෙනාම කොටහේන පොලීසියට ගොස් ඒ පිළිබඳ පැමිණිල්ලක් සිදුකර තිබේ.

අදාළ පැමිණිල්ලට අනුව තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කරනලදුව රක්ෂිත බන්ධනාගාර ගත කොට අද(25) දින යළි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර තරුණයා ඇප පිට නිදහස ලබා ඇති බව සඳහන්ය.

අද දවසේ සැකකාර තරුණයාත්, තරුණයාගේ පියාත්, සොයුරියත් අධිකරණට පැමිණ ඇති අතර සැකකරුට ඇප ලැබී පිටත්ව යද්දී කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයට ඒ පසුපසින් පැමිණ ඇති දියණියගේ පියා හනික සඟවා සිටි තියුණු ආයුධයක් එළියට ගෙන තම දියණියගේ ජීවිතය විනාශ කළ තරුණයාට පහරදී ඇත.

තරුණයාට පහරදෙන විට තම පුතු බේරාගැනීමට තරුණයාගේ පියාත්, සොයුරියත් මැද්දට පැනීම නිසා ඒ දෙදෙනාටද තුවාල සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ අනතුරුව තුවාල ලැබූ තිදෙනාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් සිද්ධියෙන් බරපතළ තුවාල ලබා සිටි සැකකාර තරුණයාගේ පියා ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

මොරටුවේ පදිංචි බව කියන සැකකාර තරුණයා හා සොයුරිය දැඩි තුවාල ලබා මේවන විටත් ප්‍රතිකාර ගනිමින් සිටියි.