පොලීසියට එරෙහිව පොලීසියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආ පෙත්සම්

පොලීසියට එරෙහිව පොලීසියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආ පෙත්සම්

April 29, 2024   03:47 pm

අරගලය පැවති සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතැබීමේ සිද්ධීන් වළක්වාලීමට කටයුතු නොකළේ යැයි ස්ථාන මාරු කර සිටි පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට කටයුතුකර ඇති බව පොලිස්පතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 

පොලිස් ස්ථානාධිපති පස්දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි පෙත්සම්කරුවන්ට සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපති තුන්දෙනෙකු එම පොලිස් ස්ථාන බාරගැනීමට එකඟතාවය පළකිරීමත් සමගම ඔවුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණි.

එහෙත් පෙත්සම්කරුවන් දෙදෙනෙකු පොලිස්පතිවරයා විසින් යෝජනා කරන ලද පොලිස් ස්ථාන බාරගැනීම සඳහා එකඟතාව පළ නොකල අතර ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් සඳහන් කළේ මේ හරහා  සිය තනතුරු පහත හෙළීමක් සිදුව ඇති බවයි.

ඒ අනුව එම පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනාගේ පෙත්සම් සලකාබැලීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල  නියෝග කළේය.