කටුනායකදී කොටුවූ කාන්තාවන් දෙදෙනා

කටුනායකදී කොටුවූ කාන්තාවන් දෙදෙනා

April 29, 2024   04:57 pm

නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතුගේ තොරතුරු භාවිත කර ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදාගනිමින් එම පිරිමි දරුවා පසුගිය 26 වනදා මෙලෙස එංගලන්තය වෙත රැගෙන යාමට උත්සාහ ගෙන තිබේ.

ගුවන්තොටුපොළ අද දෙරණ වාර්තාකරු පැවසුවේ මෙම පිරිමි ළමයා 17 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ද්‍රවිඩ ජාතිකයෙකු බවය.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස එම පිරිමි දරුවාද රැගෙන එදින දහවල් 1.30ට ශ්‍රීලන්කන් ගුවන් යානයකින් ලන්ඩන් බලා යෑමට කටුනායකට පැමිණ තිබුණි.

එහිදී ගුවන් සේවා කවුළු නිලධාරිනියකට අදාළ ලියකියවිලි සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ .

අනතුරුව එම දරුවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර ඇතිබවය.

මෙහිදී දරුවා වැඩිදුරටත් පවසා ඇත්තේ තම සත්‍ය මව ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටින බවය.

ඒ අනුව ක්‍රියාත්මක විසින් එම කාන්තාව ද සිය භාරයට ගෙන තිබුණි.

අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.