කොළඹ වකුගඩු ජාවාරම ෆේස්බුක් - ‍ඊමෙල් ගිණුම්වලට බැරවෙයි

කොළඹ වකුගඩු ජාවාරම ෆේස්බුක් - ‍ඊමෙල් ගිණුම්වලට බැරවෙයි

April 18, 2014   11:48 am

කොළඹ මුලිකව ක්‍රියාත්මක බවට සැක කෙරෙන වකුගඩු ජාවාරම “ෆේස්බුක්” ඇතුළු සමාජ වෙබ් අඩවි යොදාගනිමින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හයිඩ්‍රාබාද්හි සිට කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති ඉන්දීය ජාතික තරුණයෙකු වකුගඩු ජාවාරමකට ලක්ව මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

අදාළ තරුණයා පසුගිය මාර්තු මස 22 වැනිදින මෙරටට පැමිණ ඇත්තේ රැකියාවක් සඳහා පිටත්ව යන බව පවසමිනි.

කෙසේ වෙතත් මාර්තු මස 30 වන දින එම තරුණයා මියගොස් ඇති බවට ශ්‍රී ලංකා පොලිසිය විසින් තමන්ට දැනුම්දුන් බව තරුණයාගේ පවුලේ ඥාතීන් ඉන්දීය පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත.

මරණය සැක සහිත බැවින් මියගිය තරුණයාගේ විද්‍යුත් ලිපින පරීක්ෂා කිරීමේ දී වකුගඩු ලබා ගැනීමට අදාළ ලිපි හුවමාරු වී ඇති බව ඥාතීන් අනාවරණය කරගෙන තිබේ.

අදාළ තරුණයාගේ “ෆේස්බුක්“ මිතුරන් අතරින් හය දෙනෙකු සමඟ වකුගඩු පරිත්‍යාග කිරීමට අදාළ තොරතුරු හුවමාරු වී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ සිදුකළ විමර්ශනවලදී ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු ආන්ද්‍රාප්‍රදේශ් සහ තමිල්නාඩු ප්‍රාන්තවලදී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වකුගඩු ලබාගැනීමේ අරමුණින් මියගිය තරුණයා කොළඹට ගෙන්වා ගැනීමට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් මෙරට පොලීසියට සිදුකර නොමැති බව අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඔහු සඳහන් කළේ මීට අදාළ කිසිදු පැමිණිල්ලක් ද පොලීසියට ලැබී නොමැති බවයි.

මෙවැනි ජාවාරමක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුවත්ව නොමැති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.