කොළඹ වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවෙන් සොයයි

කොළඹ වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවෙන් සොයයි

April 16, 2014   05:00 pm

කොළඹ කේන්ද්‍ර කරගත් වකුගඩු ජාවාරමක් පිළිබඳ ඉන්දීය පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ හයිද්‍රබාද්හි පදිංචිව සිටි දිලීප් මාරු නමැති තරුණයෙකු කොළඹදී මෙලෙස වකුගඩු ජාවාරමකට ගොදුරුවී ඇති බව ඔහුගේ සොයුරා විසින් පවසන ලද බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

ඉකුත් මාර්තු 22 වන දින මාරු තරුණයා රැකියාවක් සොයාගෙන විශාක්පතම් ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටත්වී තිබේ.

ඔහු නිවසින් පැමිණ දින 6ට පසුව තමන් කොළඹට ගොඩබැස ඇති බවත්, තම බාල සහෝදරයන් දෙදෙනාම පසුව ගෙන්වා ගන්නා බවත් දැනුම්දුන් බවත් දිලීප් මාරුගේ සොයුරා වන ගනේෂ් මාරු පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් ඉකුත් මාර්තු 30 වන දින ශ්‍රී ලංකා පොලීසියෙන් හයිද්‍රබාද්හි පිහිටි නිවසට කතා කොට මාරු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මළ සිරුර රජයේ රෝහලකට යවා ඇති බවත් දැනුම්දී තිබේ.

එහිදී පොලීසිය පවසා ඇත්තේ තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෘදයාබාධයකින් බවයි.

ඉන්දීය රජයේ මැදිහත්වීම මත අප්‍රේල් මස 03 වන දින මළ සිරුර හයිද්‍රබාද් වෙත ගෙන්වා ගැනීමෙන් පසු මෙය වකුගඩු ජාවාරමක ප්‍රතිඵලයක් බව අනාවරණය වී තිබේ.

‘මගේ විසි හැවිරිදි සහෝදරයා හෘදයාබාධයකින් මිය ගිය බවක් මට විශ්වාස කරන්න බැරිවුණා. ඔහුගේ ඊ-මේල් පරීක්ෂා කර බලද්දී තමන්ගේ වකුගඩුව විකිණීම සඳහා කරනු ලැබූ තොරතුරු හුවමාරුවක් හෙළිදරව් වුණා‘ යන්නෙන් ගනේෂ් කරුණු දක්වා ඇත.

ඒ අනුව ජාවාරම්කරුවන් වකුගඩුව සඳහා ලක්ෂ 15 ක මුදලක් මෙන්ම ,ගුවන් ටිකට්පත්, නවාතැන් පහසුකම්,වීසා,පාස්පෝට් ආදිය නොමිලේ ලබාදීමටත් එකඟ වී තිබුණු බවත්, අනාවරණය වී තිබේ.

“ඔහුගේ වකුගඩුව මේවන විට ඉවත් කර ඇත්ද? එසේත් නැතිනම් අදාළ සැත්කම සිදුකරමින් පවතිද්දී මරණය සිදුවූවාද යන්න මේ මොහොතේ නිශ්චිතවම කිව නොහැකියි. එහෙත් සිද්ධිය වකුගඩු ජාවාරමට සම්බන්ධ බව පමණක් තහවුරුයි“ ගනේෂ් වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් මේවන විට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන ඉන්දීය පොලීසිය ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ ජංගම දුරකථනයේ ඇමතුම් වල වාර්තා කෙරෙහි අවධානය යොමු කර ඇති බව ‘ද හින්දු‘ පුවත් උපුටා දක්වයි.