නවි පිල්ලේ ලංකාවට පය තබනවාලු!

නවි පිල්ලේ ලංකාවට පය තබනවාලු!

May 27, 2013   09:48 pm

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනිදන් පිල්ලේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඇය එළඹෙන අගොස්තු මාසයේ 25 දා මෙරටට පැමිණීමට නියමිත බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා කියයි.

මහකොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරය අගොස්තු මස 25 සිට 31 දක්වා ක්‍රියාත්මක බවද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු සියැසින්ම දැක ගැනීම සඳහා මෙරට සංචාරයකට තමා සුදානම් බව ඇය ඉකුත් මානව හිමිකම් සැසිවාරයේදී පවසා තිබුණි.

ශ‍්‍රී ලංකාවේ භෞතික සංහිඳියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග ගැන සතුටුදායක තත්ත්වයක් පවතින බව ඇය 22 මානව හිමිකම් සැසිවාරය අමතමින් පවසන ලදී.

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය සඳහා වු කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කරන තුරු සහ තමාගේ නියෝජිතයින් පිරිසක් ලංකාවට පැමිණ යන තෙක් සිය ශ‍්‍රී ලංකා සංචාරය කල් දැමු බව නවි පිල්ලේ මහත්මිය එහිදී පවසා තිබුණි.

කෙසේ වෙතත් ජිනීවා හි පිහිටි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සමග සම්බන්ධිකරණ කටයුතු කරමින් විශේෂ නියෝජිතයින් කිහිප දෙනෙකු හා ඉදිරියේදී ශ‍්‍රි ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය ප්‍රකාශ කර තිබිණ.