රුසියා - යුක්‍රේන යුද්ධයට එක්වූ ශ්‍රී ලාංකිකයින් ගේ තොරතුරු සොයා CIDය මෙහෙයුමක් අරඹයි 

රුසියා - යුක්‍රේන යුද්ධයට එක්වූ ශ්‍රී ලාංකිකයින් ගේ තොරතුරු සොයා CIDය මෙහෙයුමක් අරඹයි 

May 10, 2024   11:43 am

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ අනුව හිටපු ශ්‍රී ලංකා සෙබළුන් 114 දෙනෙක් පමණ යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් පිටත්වී ඇති බව තහවුරු වී තිබේ.

ඉන් 60 දෙනෙකු රුසියාවටත් අනෙක් 54 දෙනා යුක්‍රේනයටත් යෑමේ බලාපොරොත්තුවෙන් මෙරටින් ගොස් තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නරේන්ද්‍ර ජයකාන්ත මහතා ඒ බව පැවසීය.

නමුත් රුසියා - යුක්‍රේන යුද්ධයට එක්වී ඉන් පැන ආ හිටපු හමුදා සාමාජිකයින් පවසන්නේ ශ්‍රී ලාංකිකයින් 1000ක් පමණ එහි සිටින බවයි.

ඒ සම්බන්ධයෙන් තවමත් තොරතුරු රැස්කරමින් සිටින බැවින් ඒ ගැන තහවුරු කළ නොහැකි බව සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.

"යුක්‍රේනයට යාම සඳහා පිරිසක් ඉන්දියාවට ගිහින් තියෙනවා. ඉන් 23 දෙනෙක් එතැනින් පෝලන්තයට ගොස් ඒ හරහා යුක්‍රේනයට ගොස් ඇති බවට තොරතුරු ලැබුණා. රුසියාවට ගිය අයගෙන් තුන් දෙනෙක් බේරිලා ඇවිත් තියෙනවා...."

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නරේන්ද්‍ර ජයකාන්ත මහතා පවසන්නේ රුසියා - යුක්‍රේන යුද්ධයට ගොස් ඇති බවට වාර්තාවන තම සමීපතමයින්ගේ තොරතුරු ලබාදෙන ලෙසට යි.

එම තොරතුරු 0718-592831 දුරකථන අංකයට ලබාදෙන ලෙස ජයකාන්ත මහතා එම සෙබළුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස ගොස් ඉන් පැන ආ ලාංකිකයින් තිදෙනෙකු 'අද දෙරණ' සමග කරුණු රැසක් හෙළි කළේය.

එහිදී ඔවුන් පැවසුවේ යුද බිමේදී තුවාල සිදුවන සාමාජිකයින් ද යළි යුද බිමට යැවීමට තරම් ඔවුන් කුරිරු බවය. 

"අපේ ආර්ථික ගැටලු නිසා තමයි අපි ඒ වගේ තැනකට ගියේ. අපි දන්නේ නැහැ කිසිම දෙයක්. කැලයක් මැදට ගිහින් දැම්මා. යුද්ධයකටත් වැඩිය ඒක සියදිවි නසා ගැනීමක්. නැවත පැමිණීමක් නැහැ. යුක්‍රේන සොල්දාදුවෝ හදපු බංකර්වල තමයි අපි දවල් දවසේ ඉන්නේ. රෑට අපි ගමන් කරනවා. ඩ්‍රෝන ප්‍රහාරයක් වැදිලා කිලෝමීටර් එකහමාරක් විතර මම බඩගෑවා. ලංකාවෙදි භාවිතා කරපු යුද උපක්‍රම ශිල්ප සියල්ලම මම භාවිත කළා. අවසානයේ නැවත මම මගේ මව් රටට ආවා."

මේ අතර මිනිස් ජාවාරම්කරුවන් රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස යවන ලද 06 දෙනෙකු මියගොස් ඇතැයි විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

2022 පෙබරවාරි 24 වනදා රුසියානු හමුදා යුක්‍රේන භූමිය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වුණි.

යුද්ධය කෙටි කලක් තුළ අවසන් කරන බවට රුසියාව විශ්වාසය පළ කළත් එය බලාපෙරොත්තු නොවන ආකාරයෙන් දිග්ගැස්සුණේ, දිනෙන් දින දහස් ගණනකට මරු කැඳවමිනි. 

දෙපාර්ශ්වයේ පිරිස් විශාල වශයෙන් මියයද්දී ඔවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් විවිධ රටවලින් කුලී හේවායින් බඳවා ගත්තේය. 

එම යුද්දයට ලාංකිකයින්ද මැදිහත්ව ඇති බවට පළමුවරට වාර්තා වන්නේ, යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ කපිතාන් රනීෂ් හේවගේ රුසියානු ප්‍රහාර හමුවේ මියයාමත් සමගය.

එම පුවතත් සමග යුද්දයට මැදිවූ ලාංකිකයින් පිළිබඳ කරුණු අනාවරණ වන්නට පටන් ගත්තේය.

මේ අතර, රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ බව කියන මේජර් ජෙනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක් වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස විමර්ශන සිදුකර තිබේ.

එලෙස සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය යුද හමුදා මූලස්ථානයෙන් ලබාගෙන ඇත්තේ ඔහු විසින් බවයි. 

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.