ගිනිතබා විනාශ කළ යතුරුපැදියක් හමුවෙයි

ගිනිතබා විනාශ කළ යතුරුපැදියක් හමුවෙයි

May 10, 2024   10:50 am

ගිනිතබා විනාශ කරන ලද යතුරුපැදියක් පෞද්ගලික කුරුඳු ඉඩමක තිබී සොයාගෙන ඇත.

ඒ, කොස්ගොඩ , සුදුවැලිපොත ප්‍රදේශයේදීය.

මෙම යතුරුපැදිය පසුගියදා අහුන්ගල්ලේ වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරුපැදිය බවට පොලීසිය සැක කරයි.

අද (10) පෙරවරුවේ කුරුඳු කැපීමට ගිය අදාළ ඉඩමේ හිමිකරු පිළිස්සුණු යතුරුපැදිය දැක කොස්ගොඩ පොලීසියට දැනුම්දී තිබේ.

කොස්ගොඩ පොලීසිය සහ ඇල්පිටිය කොට්ඨාස අපාරාධ අංශයේ නිලධාරින් එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

පෙරේදා (08) දිනයේදී අහුංගල්ලේ දී සිදුකළ වෙඩිතැබීමෙන් 54 හැවිරිදි කුරුඳු කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් මියගොස් තිබුණි.

අහුංගල්ලේ, ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකට එදින රාත්‍රී 7.40ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තවත් පුද්ගලයෙක් සමග පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

මෙහිදී ඝාතනය කර තිබුණේ කීර්තිසේන ආබෲ නමැත්තෙකි.

පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා දකුණේ සිදුකළ ඝාතන සහ අපරාධ කිහිපයක සැකකරුවෙක් ලෙස සැලකෙන 'බබා' නමැත්තාගේ පියා බවය.
 
දකුණේ පාතාල කල්ලි දෙකක් වන "කොස්ගොඩ සුජී" සහ "රත්ගම විදුර" පාර්ශ්ව අතර පවතින ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.               
 
දියවැඩියාව රෝගයෙන් පීඩාවිඳි මරණකරු අසනීප තත්ත්වය උත්සන්නවී වමනය දමමින් සිටියදී වෙඩික්කරු ඔහුට නිවසින් පිටතට කැඳවා වෙඩිතැබීම සිදුකරන අයුරු CCTV වීඩියෝවක දැක්වෙයි.

කුරුඳු කම්කරුවකු වන ඔහුට කිසිදූ අපරාධමය චෝදනාවක් නොමැතිවූවත් මේ වනවිට ඩුබායි සැඟව සිටින ඔහුගේ පුත්‍රයා වන නදීෂ් කුමාර නොහොත් "අහුංගල්ලේ බබා" නමැත්තා  දකුණේ සිදුවූ ඝාතන කිහිපයකට චෝදනා එල්ල වූවෙක් බව පොලීසිය සඳහන් කළේය.