ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක්

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක්

May 21, 2024   08:47 pm

ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සූදානමින් සිට ඇති බව ගුජරාට් පොලිස්පති විකාෂ් සාහේ මහතා පවසයි. 

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගුජරාට් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ත්‍රස්තයින් සිව්දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය. 

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට අහමදාබාද් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉරිදා රාත්‍රීයේ අත්අඩංගුවට පත්වුණි. 

ගුජරාට් ත්‍රස්ත මර්දන බලකාය මගින් අත්අඩංගුවට ගත් ඔවුන් ඊයේ පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඉදිරිපත් කළ අතර එහිදී තොරතුරු රැසක් අනාවරණ කෙරුණි.

ඒ අනුව අත්අඩංගුවට පත් 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙකි. 

අත්අඩංගුවට පත් අනෙක් ත්‍රස්ත සාමාජිකයින් වන්නේ 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන කොළඹ නගරයේ පදිංචිකරුවන් ය.

ඔවුන් මෙරට සිට චෙන්නායි හරහා අහමදාබාද් නගරය වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.

දෙමළ භාෂාව පමණක් භාවිත කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කර ඇත්තේ, භාෂා පරිවර්තකයෙකු හරහාය.

ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, දෙරටේ මුදල් සහ ගුවන් බලපත්‍ර මෙන්ම එක් අයෙකුගේ ගමන් මල්ල තුළ ISIS සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ. 

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයක නායකයෙකු වන අබූ නම් නමැත්තා සමාජ මාධ්‍ය තුළින් පසුගිය පෙබරවාරි මසදී පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් ලෙස පත්ව ඇති බව වාර්තා වෙයි. 

එමෙන්ම අබූගේ උපදෙස් මත ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර ඇති අතර ඔවුන්ට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබාදී ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා සූදානමින් සිට ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුද සම්බන්ධ තොරතුරු එරට ආරක්ෂක අංශ වෙත නිරාවරණය වී තිබේ. 

පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් සහ ඒ සඳහා යොදාගන්නා උණ්ඩ රැඳවුම් 20ක් සොයාගෙන ඇත. 

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාට එරෙහිව රැස්කළ වාචික සහ පර්වේෂණීය සාක්ෂි මත පදනම්ව එරට දණ්ඩ නීති සංග්‍රහය,  නීත්‍යානූකූල නොවන ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත සහ නීතිවිරෝධී අවිආයුධ පනත ප්‍රකාරව ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් පිළිබඳව අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් මාධ්‍යවේදීන් තොරතුරු විමසා තිබුණි.

එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ අවශ්‍ය උපදෙස් නිකුත් කළ බවත් පියවර ගනිමින් සිටින බවත්ය.   

මේ අතර ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ, අත්අඩංගුවට ගත් ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සමාජිකයින් ලෙස මීට පෙර කටයුතු කර ඇති බවය.

ජාතික තවුහිද් ජමාත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් අයත් වු සංවිධානයයි.

එම සංවිධානය 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණි.