ඉන්දීය කළමනාකරුට අධිකරණ නියෝගයක්

ඉන්දීය කළමනාකරුට අධිකරණ නියෝගයක්

May 3, 2024   04:12 pm

පසුගියදා පල්ලිකැලේදී අවසන් වූ ලෙජන්ඩ් රෝෆි 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියකට අදාළව බලපෑම් සිදුකළේ යැයි සැකකරුවකු වශයෙන් නම් කර සිටින ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරයාට මේ මස 14 වනදා මාතලේ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ක්‍රීඩා දූෂණ විමර්ශන අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාර ඉන්දීය ජාතිකයාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මාතලේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

එම නඩුව ලබන 14 වනදා මාතලේ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් එදින එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම විමර්ශන අංශ නිලධාරීන් ඉල්ලා සිටියේය. 

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුට මාතලේ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

මෑතකදී පල්ලෙකැලේදී අවසන් වූ අදාළ ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සම්බන්ධයෙන් බලපෑමක් සිදුකළේ යැයි සැකපිට මෙම ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.