උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ

උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ

June 16, 2024   06:34 pm

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහානාම මහතා භාවිත කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

එම වෙඩිතැබීමට අදාළ පිස්තෝලය යොදාගත් බවට සැක කෙරෙයි.

අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (15) කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැණුනු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න පිළිබඳ රස පරික්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

මෙහිදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතාට පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බවය.

එමෙන්ම වෙඩිතැබීම උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරිවරයා යන දෙදෙනා සැලසුම් සහගතව සංවිධානාත්මකව සිදු කර ගත් එකක් බවට ද කරුණු අනාවරණ වෙමින් පවතින බව ඔවුන් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ මන් ද යන්නය.

වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊට ප‍්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර තිබේ.